මයුරි කොඩිකාර ගම්පහ

2022 ඔක්තෝබර් කලාපය

මහපාලිගෙ යාදින්න

කුදිරමලේ තොට වූවනෙ ගොඩබැස්සම
තම්බපණ්ණි
ඉඳිගොල්ලේ කිරි අම්මා අතහැරියනෙ
යක්කසණ්ණි
කුකුලපොලේ නම තිබ්බා මගහරිනට
හද්දවන්නි
දළුලන්නේ හද පෙම්මා තුන් පියයුර
සින්දගන්නි

පාව දුන්නට රැහේ උන්වත් වූව සෙතකුත්
නැති තරම්
වීය සිහසුනෙ රිදී ඉරකුත් රැඳී උන්නත්
හැකි තරම්
නේක අවමන් විඳී තවමත් පාර වන්නන්
ඇති තරම්
සාපෙ වැදුනම මිදී යන්නත් දොලපි දුන්නත්
බැරි තරම්

කිරිකොරහ නැටුවාට නිරිඳුනි හැකිද
සිතකින් ගැලවෙන්න
රියසකක් විලසේම එනවනෙ කරුමෙ
විගසින් ඇලවෙන්න
සයුරුදිය කැළඹූවෙ දෙඅතිනි සත්ම
කඩෙකින් විසිවෙන්න
අතුරුඵල විඳවූයෙ දරුවොය දිවියෙ
මියෙමින් විඳවන්න

අදත් ඉන්නව ගැහැණු බොහොමත්
කුවේණියකට පණ දුන්න
අතත් අල්ලල අමුතු විදිහට
කුසගින්නෙ ලැබු බත් වැන්න
දිනක් කෙදිනද වැපිරු බිජුටික
තමන් සන්තකෙ කර ගන්න
දමක් වෙළුවද රනින් කිමපල
හැකිද දොරගුළු හැර යන්න
View Poem