කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

2025 මැයි කලාපය

මවකගේ පැතුම..

තිස් වසරක් ගතවිය සිත රවටාම
එනමුදු හෙටක් ඒවිද සිතෙනව තාම
දරුදුක වැඩියි දිවි මඟ කෙටි වු වාම
නුඹෙ අමිමා අමතකඇයි පුත තාම.

කළුගල් කැඩු දැතින් අතකුත් නැතිව
සළු පිළි බරණ නොමදුටු සිරුරත් කෘශව
අම්මා කියා අද පෙන්වන්නට බැරිව
ඉන්නා බව දනිමි පුරවනු බැහැ අඩුව.

නුඹගේ බිරිය හා නොමදුටු දරු පැටවුන්
සමගිව දිවි ගෙවිය යුතුමය හිත සතුටින්
නුඹ විඳි දුක් නොදී සිප්සත දී ඉහළින්
ලෝකය දකින්නට ඇරපන් නුඹේ දරුවන්.

අප විසු ගෙපැළ දැන් ටික ටික කැඩී යතේ
එය පිළිසකර කෙරුමට
මට සවිය නැතේ
නොතිරයි මගෙ දිවිය අද හෝ හෙටද සිතේ
හැකිනම් වරක් වත් තනියම වරෙන් පුතේ.

මේ රට අතැර දුරු රටකට යන්න කලින්
මා මතකයට ආවොත්
නුඹෙ ගමට වරෙන්
මා නැති කලෙක ආවොත් පංසලට ගිහින්
ගෙයි ඔප්පුවත් යතුරත් ඇති ඉල්ලා ගනින්.


මාතලේ - රත්තොටින්
View Poem