චාන්දනී ආර් වේරගල මීගොඩ

2024 ජුනි කලාපය

මල් කුමරියේ

මේ අපරිමිත විශ්වයේ
නුඹ සිටින තැන කියන් මල් කුමරියේ
මතකයේ ඇඳෙන ලෝක සිතියමේ
බොඳවෙලා පෙනෙන කඳුලැල් ඉමේ

තරු ගණන් කල සමය නුඹ මා තුරුල්ලේ
වියපත්ව ඇති මා මෙන්ම නුඹෙ මතකයේ
" අහස රන්වන් ,සඳ සුනිල්වන් නොවුණෙ ඇයි
වළාකුලු බිම ඇවිද යන්නේ නැත්තෙ ඇයි"
මගේ පිළිතුරු අසන්නට දැල්වූ සවන්
රුවන් තරු කැට වගේ බැබලිණි නුඹෙ නුවන්

සඳ ඇවිත් එබෙනවද ඉන්න කුටියට
මතකයේ මල් නෙලාගෙන රන් තැටියට
නිල්ල සොයමින් දුවන ගමනේ වෙහෙසට
ඉසිඹු නැතිවම මග හැරෙනවද මව් රට

පියා නුඹෙ ගෙවදිලා ලෙඩ ඇඳකට
නොවෙනස්ය දිවා රෑ මගෙ දිවියට
ඉඳ හිටල අතට එන ඩොලරෙට
සතුට නෑ දුවේ මිලට ගන්නට
View Poem