ආරියරත්න ජයසිංහ මහරගම

2024 අගෝස්තු කලාපය

මම දිසාපාමොක් මනමේ කතාවේ

වස වැරැද්දයි මගෙන් වූයේ
කාටවත් නොකියමි දොසක්

මමත් හිතුවේ රජෙකු හින්දා
කාල ඇඳලා සැපෙන් හිටියැකි
මනමේව බැන්දාම ඇය හට
කියාදෙන්නට බැරිවුනා මට
හැට හතර මායම්ම ඇය හට
කරකාර බන්දන්ට පෙරාතුව

මටත් තිබුනේ මනමෙ කුමරුට
උගන්නන්නට හැමට පළමුව
ආදරේ කරන හැටි ළඳකට
අවි ශිල්ප දුනු ශිල්ප තරමට

යනවිට වන අරණ මැද බිහිසුනු
ගව් ගණන් දුරු මඟ ගෙවා ගෙන
යොවුනෙකු සමගින් නාඳුනන
නව යොවුන් තරුණියක තනි මඟ

ඇයගෙත් දෑස් යන්නැති ඉබේටම
තුරු බඳ වැළැඳි ලියවැල් වෙත
වැදි රජුත් දෑසින් කියන දේ ගැන
ඒත් මනමෙගෙ හිතේ තිබුනේ
රජ කිරුළ ගැනමයි අනාගත

වැද්දටත් බෑ දොසක් කීමට
ඔහු දනී මනමේ නොදත් දේ
දිවි පරදුකොට සටන් වැදුනේ
දත් නිසයි ගැහැනියක හිත ගැන

කාටවත් නොකියමි දොසක්.
View Poem