සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

2025 ජුනි කලාපය

මතක කුසුම්

කන්ද උඩ පොඩි පාසලට ගිය
පාර තවමත් තියෙනවා
සද්ද නොකරම පුංචි නා දළු
තවම අපි ගැන කියනවා

පිපුණු මල් පෙති මිලින වී ගොස්
පොළොව බිම සිප ගන්නවා
වෙර දරා කුදු බීජ රහසේ
එළිය දකිනවා ඇහෙනවා

දැල් ගහපු පන්තියේ තැන තැන
වවුලු රෑනක් වගේ එල්ලී
පාට කුඩ කරකැවෙනවා
කඳුලු වහලෙන් සැලෙනවා

තවත් මුතු මල් පොට්ටු පීදී
වේදිකාවට නැගෙනවා
උන්ට අත්පුඩි වැයෙනවා
පුංචි හසරැල් පිපෙනවා

පොළෝ දුක උහුලාන ගලනා
ගඟේ දියවර ඇදෙනවා
හීන්සතුටක් ලැබෙන තැනදී
අනේ පෙණ පිඬු නගනවා

රූං ගාගෙන දුවලා ඇවිදපු
විසල් කඳුවැටි සිහි වෙලා
ඇහැළ මල්වල නෙතඟ තෙමුණා
පෙතිවලත් බර වැඩි නිසා

හීන්කළුවර ගලා එනකොට
කණු උඩින් හඳ පායලා
දාහයේ ගිනි පබළුවැල් මත
විදුලිපංකා කැරකෙනා

තියෙන ගානක් රෝල ගහගෙන
කනවිටදි බඩ රවටලා
ගේ වටේට දුව දුවා කැව්වා
අම්මා බත්පිඩ අන අනා

කෙම් බිමක වැසි සොයා ගැනුමට
මතක පොත යළි පෙරලලා
ආ මගේ පිපි මල් දිහා දැක
තවත් අඩියක් ළං කළා
...
කන්ද උඩ පොඩි පාසලට ගිය
පාර තවමත් තියෙනවා
සද්ද නොකරම පුංචි නා දළු
තවම අපි ගැන කියනවා
View Poem