තුෂාරි ජයසිංහ මහනුවර

2022 දෙසැම්බර් කලාපය

මතකයිද මන්දා......

ගහල කඩුවත් දරුන් අතරත්
සිරවෙලා තෙරපෙමින් උන්නා
දළදා සාමිව හඬවලා මම
මහ මළුව තෙත් වෙලා තිබුණා

වලළුකර ගස්සලා ඇද්දට
රාජ සිංහාසනේ දැවුණා
දරුවො එකිනෙකා අහිමි වෙනකොට
පපුවෙ ලේ සීතලට ගැහුණා

කොහොම උහුලනු මේ තරම් දුක්
සත් කඩක් වී පැළෙනු දැනුණා
ඉකිබිඳිද්දී අසරණව මන්
නිලමෙ හැංගිල ගිහින් තිබුණා

වීර පුතෙකුට ජන්ම දී මම
දිවිය තොර කරවන්ට යෙදුණා
අඬන කොට දුක් ගිදරක් මැද
හැමගෙ නෙත්වල කඳුළු පිරුණා

එදා වාගෙම අදත් බණ්ඩර.
පැටවු වටකර දුකින් තැවුණා
හාමතේ උන් ඉකි ගහන කොට
හත් කඩට හදවතත් පැළුණා

නැකත් නොබලම නළල් පට තැබු
වරද හින්දා දුකම ලැබුණා
වීර නිළමෙගෙ චරිතෙ දිය වී
නාලාගිරි මතුවෙලා තිබුණා

වලළු කර තිබු වළළු තාමත්
නොබිදිලා සුරැකිවම තිබුණා
තිරය පසුපස ආදරෙයි කී
නිළමෙ හැංගිල ගිහින් තිබුණා

පැය දෙකක් හැම ඇඬවලා මම
සම්මාන දෙක තුනක් ගත්තා
මතකයිද මන්දා මැඩම් මම
ඇහැලෙපොළ කුමරියව උන්නා.

2022.11.15.
View Poem