ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2023 ජනවාරි කලාපය

මටත් පෙර නුඹ නිවන් දැකපන් මගේ සික්කර නංගියේ!

පපු කුහර බිද කැණැති ගලවා ඉරා දමමින් සිතට වද දී
මස් වැදැලි යළි කැබැලි කරවා හද පටක ඇද වේදනා දී
ගත ගැහී එක්වරට නැවතී ගලකි සේ ගල් ගැසුණු තැන දී
මන පෙළූ “පණිවුඩය” කිම නුඹ සවනතට පෑහුණේ මොර දී

හිත් තිබූ මුත් නුඹේ හිත ළග වැටි-වැටී නිදි වැරූ වෙහෙසී
ගත් සෙවූ මුත් නුඹට සෙත් දෙන බුදුන්-දෙවියන් ළග ම වෙසෙසී
අත් ගැසූ තෙල්-මල්-පහන් සුවදින් පිරුණු බුදු කුටිය පැසසී
දත් විසූ කිසිවකු සිටීවි ද නුඹත් ගිය මග නොගිය එලෙසී

පතා ආවත් වී මගේ සහ-උදරියක සේ දෙවැනි තැන හිද
වතාවත් කළ වුව ද හොද හෝ නරක හෝ ජීවිතයෙ බිද-බිද
කතා කළෙමුත් සහෝදර පෙම හිස් මුදුණෙ නංවා සිතින් විද
සිතා ගමු අපි අපට උරුම ව තිබූ කාලය ගියේ යැයි සිද

මගේ නැගණිය වෙන්ට පෙර නුඹ කොහේ සිටිය ද මා නොදත්තේ
නුඹේ සහ-උදරයකු වූ මා කොයි සිට ද ආ බව නොදත්තේ
වගේ අප සැම ආ නියා එක් මව් කුසින් ලෝකයා දත්තේ
සබේ කවුරු ද පෙර ආත්මයෙ කළ-නොකළ දෑ නැති ව ගත්තේ

සිත දුවයි මගෙ මතක දුරකට කහටගස්දිගිලිය ම දක්වා
“සිකුරුපැට්ටා” කීව මතකයි පියා බිව් දුම් පෙට්ටි පෙන්වා
විහිලුවට දෝ අනේ මන්දා එදා සිට ඒ නාමෙ බදවා
කතා කෙරුවේ “සිකුරු නංගියෙ” නුඹට ඇති සෙනෙහස ම රදවා

වින් ද දුක් නුඹ ජීවිතේ විය තුරුණු වූ දා පටන් ම
කිම් ද නැගණියෙ කරපු කම් සසරෙදි විදින්නට එ තැන් ම
මම් ද මේ ඇසුවට නුඹෙන් කළ කම් නොදත්තේ සිතින් ම
කවු ද ඒ ලෙස නොවිද ගියෙ දුක්-කම්-කටොලු දිවි මගින් ම

පැමිණ සබයට නුඹත් ගිය පසු දිවි හරඹ පෙන්වා එසේ
සුගුණ සිහිකොට නැමද බුදු පා-කමල් සිත සන්සුන් පසේ
මිදුණ වැළැකී පව්දමින් වඩ-වඩා ගුණපස කම් රැසේ
එ පින් බලයෙන් නිවන් දැකපන් නංගියේ-පොඩි පැතු ලෙසේ!

2023.01.01
View Poem