සුනිලා විජේසිංහ

2024 ජුනි කලාපය

මගේ බෝසත් අම්මා-

ඉනට පළ වැල අතට වෙරළු ද
නෙළාගෙන එන අම්මා
දුරට ළඟට ද සුවඳ යහ ගුණ
බෙදන සුදු මල අම්මා
සිතට මිහිරි ම මිහිරි වදනක්
තවත් වෙද මිස අම්මා
පිනට පහළව මට ම මව් වුණු
මගේ බෝසත් අම්මා...

උතුරු සළුවට පෝය දවසට
සුදට බබලන අම්මා
මතුරු මතුරා සියලු සත හට
සෙත ම පතනා අම්මා
මිතුරු දම් මිස සතුරුකම් නැති
සෙනේ උල්පත අම්මා
ඉතුරු බත් උල කුසට කිස කොට
පුතුන් වඩනා අම්මා...

පිපුණු මල වට බමර නද සකි
ගයන නැළැවිලි අම්මා
වැසුණු දොර අස සුසුම් ලනු කිම
විවර දොර අස අම්මා
රිදුණු සිතකට ඔසුව ඔබ ම ය
වෙදැදුරු ද ඔබ අම්මා
නිතින ඔවදන් දෙමින නිසි මඟ
කියන තරු රැස අම්මා...

සඳක සිසිලෙන් බෙදයි සෙනෙහස
දියත සතර'ත අම්මා
තුරක පල බර , නැමුණු අතු සේ
දරයි දුක් කඳ අම්මා
ගඟක තරමට කිරට ඔබ පෙවු
ණය නොඉල්ලයි අම්මා
විලක මල් මට නෙළා පිදුවත්
මදි ය මට මගෙ අම්මා.
View Poem