අනුර හෑගොඩ

2022 මැයි කලාපය

මගේ පුතා ආයෙ ගෙදර එන එකක් නෑ .

සුද්දා යන්න ගියා..
අපේ සීයා ගෙ තාත්තා අත්පොලසන් දුන්න

ඩී ඇස් මහත්තය අස්සය පිටින් වැටිල මැරුණ
සීයා ගේ තාත්තා ඇඬුව

බස් ජනසතු කරල , සිංහල විතරයි කියල
බණ්ඩාරනායක මහත්තය කියපු වෙලේ
අපේ සීයා ගෙ තාත්තා උඩ පැන පැන නැටුව

බණ්ඩාරනායක මහත්තයට වෙඩි තිබ්බ වෙලේ
අපේ සීය ගෙ තාත්තා සුමානයක් නොකා නොබී හිටිය

ඩඩ්ලි සේනානායක මහත්තය බඩේ අමාරුවක් හැදිල
අගමැතිකම අත ඇරල ගිය වෙලාවෙ අපේ සීයා හිනා වුණා

බණ්ඩාරනායක නෝනා තෙල් ජනසතු කරල , වතු ජනසතු
කරල, පිට රටින් ගෙන්නන දේවල් නවත්තල, කර්මාන්ත
හදල රට ස්වයං පෝෂිත කරන්න හදපු වෙලේ පාන් පෝලිමේ
ඉඳගෙන වුනත් සීයා සාදුකාර දුන්නා

ඒත් ජේ ආර් ඇවිල්ලා බය ගුල්ලෙක් වගේ බණ්ඩාරනායක නෝනා
ගෙ ප්‍රජා අයිතිය අහෝසි කරනකොට අපේ සීයා පත්තර
කියෝ කියෝ ම හිටිය

ඒ කාලේ වැඩිපුර පටන් ගත්ත මන්ත්‍රීලගෙ පාගා ගැහිලි
අකටයුතු, කුප්ප වැඩ දැන දැනත් අපේ තාත්තා දන්නෑ වගේ
වැඩට ගියා

මන්ත්‍රීල පත්වෙලා අවුරුදු පහෙන් පැන්ෂන් ගන්න අත් ඉස්සුවහම
අවුරුදු තිස්පහක් එක දිගට වැඩකරල පැන්ෂන් ගන්නැතිව වැඩට
බඩගාපු තාත්තා ඉවසගෙන හිටියා

උන්ටම ඩියුටි නැතිව වාහන ගෙන්නන්න පර්මිට් දෙනකොට මා වත්
පුෂ් බයිසිකලයේ ඉස්සරහ තියා ගත්ත තාත්තා මගේ ඉස්කෝලෙ
ලඟට යනකං හ්ම් වත් කියන්නේ නැතිව අමාරුවෙන් පාග ගෙන ගියා

උන් ඒ පර්මිට් විකුණල සුඛ විහරණයෙහි යෙදෙන කොට
තාත්තා බයිසිකලේට හුලං ගගහ හිටියා

දස අතේ පාගා ගගහ උන්ගේ පාක්ෂිකයනට විතරක් රස්සාවල් දෙනකොට
තාත්තා රස්සාව තියා ගන්න වෙලාවටත් කලින් වැඩට ගියා

ඇමතිලට වාහන දහය පහළොව දෙනකොට, සාමාන්‍ය ජනයාට පාරේ යන්න
බැරිවෙන තරම් වාහන පිරිවරාගෙන උන්ගේ වාහන නලා පිඹගෙන ,
වයර් ෂෝට් වෙලා වගේ පාට පාට එළි දාගෙන යනකොට, අපේ තාත්තා
වාහන වලට අහු නොවෙන්න පේව්මන්ට් එකට වෙලා බලං හිටියා

ජාතික ලැයිස්තුවට පත්විය යුතු ක්‍රමවේදයට විරුද්ධව ජරා ජීර්ණ ,
පරාජිත , ජනතාව පිළිකුල් කළ අයත්, වෙන රටවල පුරවැසියනුත්
හැම ආණ්ඩුවක් ම පත් කරන කොට මම ඉතිහාස පොත් බල බලා හිටියා

හදන හැම පාරකින්ම, හදන හැම ගොඩනැගිල්ලකින්ම උන් ගසා කන බව
දැන දැනම උන් ගෙදරින් ගෙනාපු සල්ලි වලින් කළා වගේ උන්ගෙ නම් ඒවාට
ගහනකොට මම කණ්නාඩිත් දාගෙන ඒවා කියව කියව හිටිය

තඹ සතේකට වැඩක් නැති ගුවන් තොටවල්, වරායවල්, සම්මන්ත්‍රණ ශාලා,
කුළුණු හදනකොට දවසක ඒවා බලන්න යං කියලා මම පුතාට කිවුවා

ලංකාවෙන් හොරකම් කරපු සල්ලි උන් පිටරටවල බැංකු වල දාල කියල දැනගත්තහම
අපේ සල්ලි කොහේ හරි තියෙනවනෙ කියල හිත හදාගෙන
ඒව පුතාට පෙන්නල හරි සැනසෙන්න අපි කොහොම රට යන්නද කියල මම
හිත හිතා හිටිය.

බොන්න පිරිසිදු වතුර ඉල්ලපු රතුපස්වල තරුණයාට වෙඩි තියල මරපු වෙලේ,
මම නම් බොන්නෙ පයිප්ප වතුර නිසා මම ඒ වතුරම බිබී ඔහේ හිටියා

මුදූ යන්න ඩීසල් නැතිව හොයා හොයා ගිය මාළු අල්ලන්නෙක්ට වෙඩි තියල මැරුවහම
මට මොකෝ මම වෙජිටේරියන් නෙ කියල තණකොළ කකා හිටිය

ආයුධ පෙන්නන්න ගිහින් අපරාධ සැකකාරයෝ පොලිසියෙන් මැරුම් කනකොට ,
අපේ ගෙදරත් ලඟදි හොරු කැඩුවනේද කියල මම හාමිනේව සනසලා තිබ්බ

"හිරේ යවන්න තිබුණු කෙනෙක් මම ජනාධිපති පුටුවට යැවුවා" කියල
හිටපු අග විනිසුරුවරයෙක් කිවුවහම මම අලුත්කඩේ පැත්තෙ යන එක අත හැරිය

අපේ සීයාගේ තාත්ත, අපේ සීයා , අපේ තාත්තා සහ මම අවුරුදු හැත්තෑ
හතරක් ඇතුලත අසාධාරණය දැක දැක කරපු නොකරපු දේවල් අනන්තයි.
මගේ පුතා සමාවෙන්න ඕන අපට.

මගේ පුතා ආයෙ ගෙදර එන එකක් නෑ . එයාගෙ අලුත් ලිපිනය. ගෝටාගෝ ගම. කොළඹ 1.
View Poem