ජයන්තා මිහින්දුකුලසූරිය

2025 මාර්තු කලාපය

මං ආසයි පියාඹන්න.!

මං ආසයි පියාඹන්න.!
...........................

මාව හොඳින් බලා ගත්තු
අම්ම වගේ ලඟින් හිටපු
චූටි අක්කි මෙහෙ නෑ දැන්
එයා ගිහින් ඉගිල්ලිලා.

උදේ හවා සෙල්ලම් බත්
උය උය මට කවාපු හැටි
"කන්න ඕනි තව චුට්ටක්"
සැර කර කර කර කවාපු හැටි
දවසට තුන් හතර විඩක්
බීම ජාති පොවාපු හැටි !
සිහිවෙන කොට හරිම දුකයි
ඉවසන්නම බෑ මට නම් !

අඬන්නෙපා හොඳ බබානෙ!
මට හරියට වැඩ තියෙනව
දොයියන්නකො දැන් චුට්ටක්
නැලවිලි ගීයක් කිය කිය
නැලෙව්ව හැටි මට මතකයි !

අනික් පුංචි යාළුවො මැද
අක්කි ගෙ උකුලට පැනලා
රැජිනක් වගෙ මං හිටි හැටි
හීනෙන් පේනවා තාමත් !

"අක්කිල එනකල් ආපහු
දෝණියෙ! යං අපේ ගෙදර"
එයා මාව එක්ක ආව!
අක්කට ඒ කාලෙ කියපු
කතා එයා කියල දෙනව
නැළවිලි ගීයක් කියලා
එයා ලඟම නිදි කරනව

ඒ වුනාට අනේ !අක්කි
මට පාළුයි ඔයා නැතිව
අත්තම්මට කියල මාව
ඔයා ලඟට ගෙන්න ගන්න!

මං ආසයි !ඔයා වගේ
නිල් අහසේ පියාඹන්න.!
View Poem