ආරියරත්න ජයසිංහ මහරගම

2025 පෙබරවාරි කලාපය

බවුන් වඩනුද කෙලෙස

තුරුහිස් අතරින් පෙරේ පළමු හිරුරැස් දහර
අවසන් පිණිපොදත් ගිලිහේ ළදලු පත් මතින
පෙර’ඹරින් එන ළහිරු පිස දමයි තණ පලස
අසපුවේ නෙත් පියා බවුන් වඩනෙමි තවම

පළමු හඬ නිකුත්විණි මේ උදය බව කියන
සවන් වනි සකුන ගී කිචිබිචිය එක වරම
සුදු වලා අමුණමින හිමාලය තරම් උස
අහස තතනයි ලියන්නට කවියක් නොතේරෙන

සුදෝසුදු පෙණ නඟන දොල පාරේ සිනහ රාව
බඹර ගුමුගුමු නදින් මුමුනන තෙවළා බණ පද
නිල් තුරු හිස් වියන උඩින් ඈත සිතිජ ඉම කෙළවර
වලා කළඹ සිවුරු දරා සමනොල ගිර බවුන් වඩන

මේ සොඳුරු දසුන් මැද තුන් ලොවම අවදිවෙන
පියාගෙන නෙතු පියන් අඟුළු ලා දෙසවනට
වන සෙනසුන ඉමේ මේ අඳුරු කුටිය තුල
බවුන් වඩනුද කෙලෙස හුන් තැනින් නැඟෙමි මම.
View Poem