උදයංගනී විජේරත්න

2025 පෙබරවාරි කලාපය

පෙම්බර සිත්තරාගෙන්...

වාසලෙන් අණ නුඹට ආදා
පපුව මගෙ සත්කඩට පැළුණා
ආදරෙන් රැක ගත්ත පණ ටික
රැගෙන යන බව කියා තිබුනා
කෑදරෙන් රජු නෙතු හඹද්දී
කඳුළු සයුරක් කඩා වැටුනා
ජීවිතෙන් උදුරලා හනිකට
රාජ සළුපිළි පවා එතුණා....

මටම ලිහනට නුඹේ සළුපිළි
රාජ අණසක ගිඟුම් දුන්දා
ගතම පණනැති වෙලා යන හැටි අනේ අසරණ කමට වින්දා
අදම රූ සපු ගලේ ඔපලා
හැඩ කරන්නට කීව හින්දා
සඳම අහසින් මියැදුණා රැය
අමාවක හදවතේ රන්දා...

නෙතින් සඟවපු රුව අඳින්නට
දිරිය ගන්නට නොහැකි හින්දා
රනින් සළුපොට ඉණෙන් පහළට
දවටලා රහසේම බන්දා
මතින් මත් වූ රජුද අහවර
කරපු සිතුවම රටා වින්දා
ඉතින් කඳුලැළි කරපු සරදම්
මගේ රන් කඳ ගලක රන්දා...

නිමක් නොමැතිව ආව ගිය උන්
තවත් රසකර රටා මැව්වා
හිතක් කෙලෙසක වාව ගන්නද
අතර මංවී ඔහේ දිව්වා
විඩක් කඳුලට ගලන්නට දී
තනිව පිළිතුරු පවා හෙව්වා
බිඳක් ඉවසන් ඉඳින් රන්කඳ
රාජ අණ දස අතේ රැව්වා...


ගලේවෙල
View Poem