තුසිතා සුරේකා මීගමුව

2023 අප්‍රේල් කලාපය

පින්කඳ තාත්තා

රෑ පුරා පියවෙන්නෙ නැති නෙත් බරට දැනුනද මට නොතෙරේ
උදේ අලුයම බත ඉදෙන්නේ නුඹේ සුසුමෙන් කියා තේරේ.
ගියත් අකුරට කොපි පොතේ පිටු අතරෙ දුක්බර මුහුණ බේරේ
සැඟවුවත් නුඹ නුඹට නුබෙ දුක නුබෙ පුතුට එය හොදට තේරේ

සලෙලු මවකට දාව ඉපදුන පව මගේ පොඩි හිතට වද දේ
නුඹ දමා ගිය කරුමෙනම් ඈ ගෙවනවාමයි දිනෙක සසරේ
නුඹේ සෙනෙහස වීද කෙතරම් මමත් නංගිත් දනී රිසිසේ
කාමයට ඇති හිතේ ලෝබය දරු සෙනේහෙත් පසෙක ලූයේ.

තාත්තේ මට නුඹේ ස්නේහෙට සම කරන්නට කිසිත් නැත්තේ.
කිරි නොවන එක පුදුමෙකී නුබෙ ලය පුරෝගෙන දුවන රතු ලේ.
හැර දමා ඇය ගිය බවක් මට දැනෙන්නෑ කිසි දිනෙක රුදුසේ
තාත්තේ නුඹ දෙවි කෙනෙක් නොව දෙව් ලොවක්මැයි අපගෙ ලෝකේ

ඔටුන්නක් සිහසුනක් නැතිමුත් රජෙකි නුඹ තේජසින් ඔපවුන
සඳකි ඈ පෑයූ අමාවක අඳුරු බියකරු හැඟුම් හැංගුන
පින්කඳේ නුඹේ දෙපා පාමුල කවද හරි හැපි හැපී වැලපෙන
දිනක් ඒවී ඈට කල පව් වලට දෙවියෝ නොම සමා දෙන.

තුසිතා සුරේකා
මීගමුව
View Poem