ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

2022 නොවැම්බර් කලාපය

පැටවුන්ට ඉගිලෙන්න ඉඩදෙන්න

කවා නලවා තබා කුඩුවේ පණමෙන් රැක්කාට
සුමුදු අත් තටු සිනිදු පහසින් හිතු සේ පිරි මැද්දාට
පියාපත් ඇති දැඩි වෙලා නාඹරව සවිමත් ව වූ දාට
අවසරද දැන් ඉගිලයන්නට නුඹේ සුරතල් පැටවාට

තුරු මුදුන් මත සිහිල් හෙවනේ පුංචි කුඩුව තිබුනාට
අතු ඉතිත් විහිදිලා රිසි සේ අවැසි සම්පත් දුන්නාට
හිරු රැසින් ඔපවත් වෙලා නෙක මල් පිපී බැබලෙනදාට
මිටින් අත්හල යුතුයි පැටවුන් පියාපත් මෝරපු දාට

හිරු බසිනු ලංවෙද්දි හෙවනැළි දිගින් වැඩි වී පෙනුනාට
මුදුන් හිරු ළඟ මැකෙන හෙවනැලි අඳින්නේ කෙලෙසද රෑට
පියාපත් සවි වෙන්නනම් ඉගිලිය යුතුයි පැටවුන් නෙක පාට
මුදා හල යුතු කලට දරුවන් තුරුළු කර සතුටක් කාට

නිල් අහසෙ දේදුන්නේ පාටින් වසන්තයයෙ මල්පිපි දාට
උයන් ගොමුවේ පිපුණු කුසුමේ මධු මී ඉතිරුණු දාට
අහස්කුස යට සුදු වලාකුළු කලුවෙලා වැසි එන දාට
කුඩුවේ උණුසුම සොයාවී ඒ පුංචි තටු තෙත්වුණදාට
View Poem