මයුරි කොඩිකාර ගම්පහ

2024 ඔක්තෝබර් කලාපය

පරාගනයට කැකුළු

උච්ච ස්වර මග හැරල මන්ද්‍ර ස්වරයක ගයපු
බැල්මෙ හී සර දිගේ කැළඹිල්ල සිත දවපු
හැල්මෙ තුරුලට නොයා හෙමි හෙමින් උඩු දුවපු
මැද්දෙ කෙමියක ගිලී මල නොතල පැණි උරපු

උණුසුම්ව සුසුම් වැල් ගෙල මත්තෙ දඟ දමා
ඉවසම්ද දෙතොල් ඇඳි සිත්තමකි නැත නිමා
මකමින්ද සීමාද විරාමෙට දැමු කොමා
අඟුල් අරිනට යතුර තතන්නෙ කිම පමා

මුව තියා නිම්නයක කඳු දෙකක් මැද්දේ
සීරුවට ඇඟිලි තුඩු ඇරඹුවයි යුද්දේ
සිහින් කෙඳිරිය මිසක නැත නැඟුනෙ සද්දේ
දිය ගැඹුර දැනගෙනයි තොටිය ඔරු පැද්දේ

තෙලිදියට රා වඩිය පැසි පැසී ඉතිරෙද්දි
කොහි වෙද්ද ඉවසුමක් පුරුදු රස මතුවෙද්දි
යටිකුරුව තිබු හැඟුම් උඩුකුරුව නැඟ එද්දි
අඩකුඹුව හිඳ තවත් පලද ඉම පහුවෙද්දි

පෝය දා සඳ වුවත් මෝරන්නෙ මහ රෑට
රැස් දහර මැවු රටා නුරාවෙන් විය පාට
ඒ මැදින් කඩුපුලක් ඇරයුමකි කලෙ ඊට
දා බිඳුත් දඟ දමා රුකුල් දුන්නනෙ රූට

මංකඩේ තරම දැන ගෙන වෙලට බැස්සේ
වක්කඩෙන් වැඩි වතුර පිටවුනයි රිස්සේ
මත් බිඟුන් පරාග⁣නයෙන් තෙමෙන අස්සේ
අත්ගුණේ බලත හැක නෙලුමකට පස්සේ

Photo credit; Jonathan Borba
View Poem