නිලුපුල් තුතිසෝම

2025 පෙබරවාරි කලාපය

පරඬැල්

විදසුන් වඩා සඳ බුදු වී පිරිනිවුණ
වලසුන් දෙදෙන හැරගිය අහසක තරුණ
දිලිසුම් ධූමකේතුව පපුවට අනින
සිහිසුන් කළ පසුය ඉහිනුයේ මල් තුහින

උඩුබැලි අතට හිදිමින් සයනෙක දිරණ
අඬු අග රටා පැටලෙන දැලකිය වියන
පඬු පැහැ විරාගෙක දල්වාගෙන නයන
දඬුවැල් බෑ පැණිය සඟවා ගමි යහන

ගණ කළුවරේ එල්ලී මී රස කරඔ
වන වවුලනේ කෙලෙසක ඔතරම් සරඹ
උණ පඳුරකට මුමුණා කවි ගී පොළඹ
පණ අදිනවා කදුරක් හොලවා සළඹ

වැහි පණිවුඩ රැගෙන මොරගාගෙන පියඹ
වැහි ළිහිණියෙකි හොයනා නැතිවුණ පියඹ
ඇහිපිය ගැහෙන කාලය පිට නැග වෙළඹ
ගැහි ගැහි තෙමුණ වැහි සිහිවෙනවා කොළඹ

ඇහැ පියවමියි ඒ අත මේ අත ඇවිද
වැහැරුණ බදාමෙට පිට හෙව්වමි නොනිද
පැහැබර ගමන් යන ලෙස උදයෙම ඇවිද
නැහැ පුඩු සිඹියි අල කිරි හොද්දක සුවඳ

මුඵ රෑ පුරා විඳිමින් අහසක ගැහැට
උඵ වහලයෙන් වැගිරෙයි තවමත් කහට
එළු මවකගේ ආදර ඇමතුම් බහට
තළු මරමින් උරයි කිරි පැටවකු රහට

දවටා චීත්තය අම්මා මල් ඇතිරෑ
රවටා ඉඟුරු සුවදීන් ඇල් දිය පුපුරු
තොල ගෑ විටෙක අහුවෙයි පෙරදින ඉතුරු
මොරගා පිළිස්සුණ වෙනිවැල් ගැට පතුරු

රැලි බුරුල් පාදනා ඇටිකුකුළු හඬට
ගොඵ බෙල්ලෙකිය ඇදෙන මර බයේ ඇදට
බුඵ ගහේ දිරාගිය අත්ත මත හොරට
සළු හොයා ගත් එකෙකි පිහාටුව සුදට

තිත් මැකුණු ගේ කුරුලු මුටිටියේ ගුලට
අත් දෙකෙන් පුරවලා පිදුරු නැටි හැඩට
අත්තිකාරම් බඳින කිරිල්ලකි හෙටට
පැත්තකින් ගැරඬි හැව නටයි තා ලෙකට
View Poem