කපිල කුමාර කාලිංග

2025 මාර්තු කලාපය

නොලියු කවිය

කලකින් නොලීමි කවියක්
ලිවිය යුතුය අද කවියක්
හිඳගනිමි මේසය අස
සුදුම සුදු කඩදාසියකි එහි

කවුළුවෙන් පිටත දිසෙන
හරිත වනපෙත මැදින්
නැඟෙන සුදු දුමාරයකි
සෙමින් සුළඟේ පාවී
ගුවන වෙත නැඟෙන

කුඩා කඳු ගැටයක මුදුනේ
දාගැබකි, අතු පතර අතරේ
සේපාලිකා මල් සුවඳක්
දුරක සිට මතකයට පිවිසේ

බාල කල දිය කෙළිය ගං හෝ
තවම ඇති වන පෙතෙහි සැංගි
ඒ දඬු පාලමෙන් එතෙරට
යා යුතුය, අද පාලම, එදවස

කවුරුන්දෝ පැමිණි බව අඟවමින්
දොර දෙසින් නැගෙයි කිසි හඬක්
අනාරාධිතවම පැමිණි කෙනෙකි ඒ
කවිය තව දවසකට කල් තැබේ..



2025.02.11

Photo Credit : jvangysel | Flickr
View Poem