සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2022 පෙබරවාරි කලාපය

නිදි වැදුණු කන්ද

මා බාලේ
අපි උන්න ගෙදර ඉස්සර
කන්දක් වීය හැලහොල්මනක් නැති
බුම්මගෙන බලාගෙන

මට හිතුණේම ඒ කන්ද
අහසටම උස බවය

ඉතින් උදයෙන් නැගිට
ජනෙල් පිළ උඩට වී
අමුණාගෙන ඇස් දෙකම
ඉන්නවා මං භාවනාවක
හිතමින් නඟින හැටි
කන්දෙන් අහසට
බහින හැටි
අහසෙන් කන්දට

බොංචි වැල දිග නැගී
අහසටම ජැක් ගිය හැටී
ඔහු මගේ ලොව සිටී
පුංචි වීරයා වුණී

අහසටම යන සොයා
බොංචි වැල් නැති නිසා
කන්ද මට ඇති කියා
කිව්වා මං හඬ නගා

යෝධයා එන්න පෙර
ඔහුගේ ගේ තුළට වැද
යෝදිගෙන් කිකිළි ගෙන
බහින හැටි හිතුවා මම

වලාවක එල්ලිලා
කඳු මුදුනෙ පා තබා
කිකිළි ගෙනෙනා සුබා
හිතුවෙ ඇස් පිය පියා

පහුවදා උදෑසන
බලන කොට කන්ද දෙස
කන්ද නොතිබුණි එතැන
ඇඬුණා මට හයියෙන්ම

"අප්...පච්..චී යෝ වරෝ
ගේ ඉස්සරහ කන්ද නැතෝ.."

මගේ හඬ ඇහිලා
අප්පච්චි ආවා
කඳුළු බිඳු පිසලා
හිසත් අතගෑවා

"රෑ පානේ හැම තිස්සෙ
කන්ද නෑ නිදියන්නේ
කන්දක් උනත් මැණික
නින්දකුත් ඉල්ලන්නෙ
මීදුමත් පොරවගෙන
කන්ද දැන් තද නින්දේ
නළියගෙන ඉර එන්නේ
කන්ද දැන් ඇහැරෙන්නෙ "
View Poem