සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

2025 අප්‍රේල් කලාපය

නිදන කාමරයෙන් නික්ම ගිය කිරිල්ලී

නිතර සයනයේ උඩු කුරුවට නිදන
කතිර සුළං පෙති'තර මා නෙත් ගැටෙන
මිතුර,ගේ කුරුළු යුවලකි නිති සරණ
කතිර මැස්මක් ය කූඩුව උන් ගොතන

පාන්කාව නිවහනකට පෙරලාන
සාංකාව මගේ මළ කෑ මුදවාන
වාන්දාන දූ දරුවන් ඔසවාන
පාන්දරම මා දකිනා යස රෑන

සීයේ පීටරුයි, මේ ඩිංගිරි මැනිකේ
පෑයේ හැඩේ හරි නම මිනිපිරි දැක්කේ
චිරි චිරියයි පැටව් කූඩුවෙ නෑ දැක්කේ
බැරි බර හොට තුඩේ මහ උන් මය රැක්කේ

පීටර් පපුව පුරවා ගත් මහ තඩියා
ආතර් රජු වගේ ලෝ තතු දැන සිටියා
මාකර් පෑන් මොකටද මතකේ හිටියා
ටීටර් පොලක් මගෙ කුටියම කල සැටියා

වෙලේ කමත් පිට පරඩැල් ඔසවාන
පැලේ හැඬ පෙනේ,දින දින ඔපලාන
හැලේ රොඩු බොඩුම ඉවසමි කරබාන
බොලේ දැන් ඇඳේ විසුමත් අඩමාන

ඉර අවරේ සැඟව නිදි කිරණා අතර
කරබා නිදයි නෑ කසු කුසු උන් අතර
සැර හින්දා නිමමි බල්බය දැන් අඳුර
කොර ගස ගසා සොයනෙමි මා ඇඳ නිතර

කලක් ගොසින් ඇසුනා කිචි බිචි සද්දේ
මලක් දෙකක් පිපිලා පංකා මැද්දේ
දිනක් ඔවුන් මා පියෝ, එක යම යුද්දේ
තුටක් කන වැටුන මොල කැටියන් සද්දේ

දහවල් දවස පොඩි පවුලේ නමට ලියා
කල් යල් මරමි මා පුටුවක දෙනෙත පියා
නිසි කල් පැමින පැටවුන් උස් මහත් නියා
මැන්ටල් දෙපොල තනිකර උන් පිටව ගියා

යලක් නොවේ යල් හතරක් පුරාවට
බරක් නොවි දරු අටකුත් හදාගෙන
දිනක් ආපි ඉරණම උන් සොයාගෙන
රැයක් සුළං ඩිංගිරි ගොස් ගසාගෙන

කාල ගුනෙත් විටකදි මැති ඇමති මෙනි
බෝල පාස් කරමින් බඩ වඩා ගනි
කෝල නැති වැස්ස අහසට නොවේ හති
ආල වැඩු පතිනිය දැන් දකිනු නැති.

කටක් පුරෝගෙන පීටර් මහ රාළ
මදක් ඉසිඹු නෑ, රැක්මයි දරු බාල
පොතක් පතක නොදිටිමි පියකුගෙ ආල
දුකක් යට ගසා ඔහු සුරකී සීල

අම්මා නැති කලට අප්පා කවර කල
නිම්මා නැතිව කන වැටි වහ හලාහල
පෙම්මා සිතින් අප්පා දරු රකින කල
සම්මා සම්බුදුය අප්පා සසර දුල

අහා ඇතත් දියවන්නා බොජුන් හල
මහා පාලි දන්සැල් වට වියත් කැල
අහා පිංකමක අසිරිය පොතෙන් හල
සහාකාරි නැති පීටර් වෙසක් මල

මගේ ඇඳම දැන්නම් මීතොටමුල්ල
හැගේ ඔවුන් දවවල අත නැත කුල්ල
මගේ හුස්ම හිරවේ ගනු බෑ අල්ල
නගේ උකස් කෙරුවේ නෑ ඔහු තැල්ල

අම්මා නැති දෙදරු පිටවිය පසු දාක
නිම්මා නැති අහසෙ හතුරෝ වෙති නේක
සුම්මා කියන්නට ඉඩකඩ නැති සේක
නිම්මා මගෙ කවිය පීටර් ගිය දාක
View Poem