විල්සන් හෑගොඩ

2023 සැප්තැම්බර් කලාපය

නයි පෙන - විසල් හදක කවි

විල්සන් හෑගොඩ කිවිඳුන් ගේ 39 වන අනුස්මරණය සැප්තැම්බර් 13 වන දිනයි

මම මගියෙක්මි මේ ජිවිත අතර මගේ
කෙලවර නොදැක යන්නෙමි සුබ ලකුණු දිගේ
සපු වග වලස් කොලහල මා ලඟම වගේ
පවතී එහෙත් ගමනට පා යුවල නැඟේ

හදවත මගේ පොත් පිටුවක් මෙනි විවට
එහි නැත නපුරු සටහන් බස් මිස කවට
එනමුත් වෙසෙන සමහර උදවිය අවට
විරිදුව නැග සිටිති පා පෙර කළ පවට

නොඇනී යන්න හැකි වූවත් හොඳින් මට
පාරේ තිබෙන බෝතල කටු අයින් කොට
යන මා වැන්නෙකුට විපතක් කරන්නට
වෙහෙසෙනු කිමද විමසමි හද සොවින් සිට

පසුවූ මග වැඩියි යා යුතු ගමන ටිකයි
අවහිර නැතිව යා ගන්නට හැකිද සැකයි
නොපැතූ තරඟ බිම් හමුවිය සිතට දුකයි
දිනුවත් පැරදුනත් මට දැන් දෙකම එකයි

සාවුන් දුවන තැන උරුලෑවෝ දුවතී
මුතු ඇට රැඳෙන වෙරළේ කුණු රොඩු නවතී
දෙවොලේ නයින් දැන් ඇසුරේ කල ගෙවතී
ලොකු කලකිරීමක් මා සිත තුල පවතී

මොනරා ඉදිරිපිටදී කළුකුමා නටයි
සුදු හංසයා දැක ලංවී කොකා කොටයි
ඉටිකිරි බිංදු හැපුණේ මුතු ඇටය පිටයි
යොමුවී තිබෙන්නේ තරඟය හිනාවටයි

රතු කැට අසල උළු කැට අගනා ගල්ද
දිය බෙරලිය මලත් මහනෙල් ළඟ මල් ද
වෙරි වූ රැඟුම් ඇති රා කඩ රඟ හල් ද
වැඳිරියකගෙ විහිළු සොඳුරක සුරතල් ද

උණ දළු නැගී එයි ඇත්දළ බිඳින ලෙසින්
පුදුමයි සඳුන් ගස වැටුණොත් එඬරු ගසින්
ලොව දෙස බලනමුත් මා කලකිරුණු ඇසින්
නොකරමි වැරැද්දක් කෙනෙකුට කිසිම ලෙසින්

ඉසිබර ඉඟිය නයි පෙන දිග හැරීමකී
නැතිනම් එකට ඉඳගෙන මිනි මැරීමකී
ඔවුනගෙ ඇසුර දුකකට මුල පිරීමකී
මා තුල උපන්නේ දැඩි කලකිරීමකී

මල්පෙති මැදින් උල් කඩුපත් ඉහළ නැඟේ
යන්නෙමි අහිංසක ලෙස එය නොදැක වගේ
කවිකම එළිය කොට ගනිමින් අඳුර දිගේ
තනියට රැගෙන යමි කැමරා කටුව මගේ

1963 ලන්ඩනයේ දී
View Poem