ශාස්ත්‍රපති කිවිපති නන්දසේන පලිහක්කාර - කොළඹ

2021 ඔක්තෝබර් කලාපය

දෙපා-සිව්පා

හිත හොඳකම කෙනෙකු සතූ
නැත රන් -මිණි-පබළු-මුතූ
තෙත මනයක් පපුව රැඳී
වත පළවේ අමර තතූ

බත් තණකොළ වෙනස දැනී
ගත් නිවැරැදි අරුත පෙනී
සිත් සුපසන් අසිරිමතා
උත් තම මඟ දෙපිය මනී

ඇති පව්මල නොකර තුනී
ඇති වටතිර අඳුර පෙනී
නැති හැකියා නිගුණ කෙනා
ගති සිව්පා ඇඟට ගනී

දැන සිව්පා දෙපා ගතී
කෙන-කුට කිසි නොවී ගැතී
තැන සුරකී දිනුම් බිමේ
ජන සම්මත කමේ රුතී

පෙර දැකු මෙන් හැදුණු ළමයි
මිනිසකු සතු වටින කමයි
බිළිඳකු වී ඉපදුණාම
පොඩිලොකු කම් උරුම තමයි

තිරිසන් ගති හුරු මිනිහා
සුපසන් ළය ඇත කොනිහා
විමසන් යන යමක් ලොවේ
අවසන් විය යුතු වටහා

විමසා දැන ළබඳ සෙනේ
පවසා යන දුරට පෙනේ
සකසා ගත් නැණස බලේ
මිනිසා සතු පරම දනේ

දැන නොසිටින සතෙකු දෙපා
දෙන වදනට සිනහ පපා
වෙන යටිමඩි ඇතිව සිතේ
එන ගමනෙකි දෙතොල හපා

යන අදහස නැතිව සිතේ
පැන දඟලන හතර අතේ
තැන නොතකා කළ විගඩම්
පින පව සටහනකි පොතේ

පමා දොසින් අඩමානේ
හමා හඹන නර සීනේ
නිමා නොවන දිවි මංකඩ
තමා පමණි අවසානේ
View Poem