රුවන් ඩී අළුබෝමුල්ලගේ

2025 ජුනි කලාපය

දුම්රිය සඳෙස

හිනා වෙන කතා වෙන විහිළු තහළුද කරන
තත්පරෙන් සියයකින් පංගුවෙන් වෙනස් වෙන
යළි කතා වෙන හිනා වෙන විහිළුවක් කරන
මුහුණුවල පේනවා තද කරන් ඇති ප්‍රශ්න

දුම්රියේ කවුළුවෙන් ඈත පේනා දුරක
සමුදුරේ කෙළවරක ක්‍ෂිතිජයේ ඇති තිතෙක
රැඳුනෙ දෑසද සිතද සිතාගනු බැරි සිතෙක
හැඟුම්බර බවමමයි තියෙන්නේ මුව විටෙක

මාසෙ අග අතට එන සොච්චමේ ඇතුළෙ ඇති
දහක් ගැට ලිහන හැටි හිතා ගනු බැරිව ඇති
එහෙම නැත්තම් ගෙදර සොඳුරු ප්‍රශ්නයක් ඇති
ඒත් නැත්නම් ඉතිං ලෙඩක් කරුමයක් ඇති

පොඩි එකී ගෙට වෙලා කොටහළුව ගන්නෙපැයි
නමටහරි කන කරක් අරන් දෙන්නත් එපැයි
පාටියක් නොගත්තොත් ඒකිගේ හිත රිදෙයි
ණය වෙන්න වෙනවමයි අවුල් වියවුල් ගොඩයි

ඇගේ හිත බර වෙන්නෙ කියා ගනු බැරි දුකක්
මහත්තය ගෙදර එන්නේ මාසෙකට වරක්
ඈත දීපංකරේ පුද්ගලික හිර ගෙයක්
දරු පැටව් හදන්නට දරන වෙර කප්පරක්

අම්මගේ අප්පගේ බිරිඳගේ දුබලකම්
ඥාති හිතවතුන්ගේ වුවමනා එපාකම්
ගහළයෙක් වගේ ඇති ආර්ථික කුරිරුකම්
අතර පොර බදන විට බරද හිත කොයි තරම්

“ ඇයි මචං කෝච්චිය හදිස්සියෙ නැවැත්තුවෙ ”
“ එකෙක් හැප්පිල මැරිල පහු වෙච්චි වංගුවේ”
“ උගෙ ප්‍රශ්න නම් ඉතිං ඉවර ඇති මේ බචේ ”
සතියකට වරක්වත් මෙලෙස පැන විසැඳවේ

වාඩිවී ඉන්න අයගෙන් සමහරෙක් නිදි
කුට්ටමක් අනනවා කට්ටියක් ඊට ලැදි
සමහරුන්නම් ඉතිං කාල වගෙ ඇඹුල් මිදි
කෙනෙක් කෙනෙකුට කියයි පෙරදාක වෙච්ච හදි

මුල්ලකට තුරුළු වුන පෙම්වතුන් යුවලකගේ
මුනු මුනුව මුව පිරුණු සිනා රැලි යන සුළඟෙ
තවත් පෙම්වතියකගෙ දෑස් අග කඳුළු වගෙ
තෙරපෙනව ඇති මොකක්හරි දුකක් හිතේ ඇගෙ

තරුණ නැති ජෝඩුවක් අසම්මත මුකුළුවක
නෝටි ෆෝටියෙ වගේ බැළුෑ බැල්මට දැක්ක
හිරිත් වැටුනා වගෙයි ඔලොක්කුවටම හක්ක
ඔහොම යං ඔහොම යං හැංගිච්ච කොරවක්ක

රුවැත්තියකගෙ දිහා බලන් මැදි වියට පත්
තැනැත්තෙක් අනිමිසයි විවර කරගෙන දෙනෙත්
ඒත් එක ගැටළුවක් වෙන්නැතිනෙ ඔහුව පත්
දුටොත් ගැහැනියක් සෙල වෙයිළු කොරවක් ගලත්

කටු ඇනෙන ගල් ඇනෙන වංගු වලවල් තියෙන
මේ පාර දුශ්කරයි කොහොම දකිමුද නිවන
කෝච්චියේ පීල්ලට බෙල්ල බැන අඬ ගසන
කොච්චරක්නම් හේතු තියෙනවද දුක හිතෙන

මේ සියළු ප්‍රශ්න මැද සතුටු සාමීචියේ
ගී ගයයි තාලයට කට්ටියක් මල් වියේ
මොනව තිබුණත් කාට කාට මොන වර්ගයේ
අළුත් හිතවත් කමුයි සොඳුරු මේ දුම්රියේ
View Poem