සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර

2021 ඔක්තෝබර් කලාපය

දිවි මග යෙහෙළිය

මගේ හද වැළද ගත්,
සොදුරු කත.
ගෙවී ඇත බොහෝ කල්.
වියපත්ව ඇත අපද.

සරාගී ආදරය,
මතු නොවේ එදා මෙන්.
ගැඹුරු සෙනෙහසක් ඇත,
පැතිර ගිය හද ගැඹර.

මගේ දරුවන් හැදූ,
මව් කිරෙන්, ගුණ බෙලෙන්,
ඔබයි ඒ දිරිය මව.

වරින් වර නැගී එයි,
මතකයට අතීතය.
ඉන්ද්‍ර ඛීලය ලෙසින්,
නැගී සිටි අයුරු ඔබ,
මා අතින් පැහැර ගිය ,
හැම විටම, ම යුතුකම්.

නැග්ගාද? නමුනුකුල,
කෙලෙස ඔබ පුතු කැටිව.
සනසන්න ලපටි සිත,
මග හැරුනු විට ගමන.

කෙලෙස දැනුනෙද? ඔබට,
මහා විපතක නිමිති.
මට නොවැටහුනු කලට,
පුතුගෙ දැඩි ව්‍යාධිය.

දියණියට හැම විටම,
උතුම් ගුණවත් මවක,
වී දුනිය , ජීවිතය
ගැන නොසෙල්වෙන නුවණ

ඔබට මා ණය ගැතිය
ගුණෙන් පිරි මා පියඹ
View Poem