මාලපල්ලේ හේමාංගි අමරසිංහ

2022 නොවැම්බර් කලාපය

තී වෙති ද මාරයා හද ගිනි පුපුරු ලන

කදුරු වාගේ තිත්ත කරුවල
කලු තෙරක එක් දනව්වක හිඳ
විය සිදුර බිඳ පහන් එළි ඇති
දුරු දනව්වක දිවි හරඹෙ හිටි...
තුරඟයකු පිට නැඟී ගත් නුඹෙ
දෙපා යුග බිම නොගැටුණෙ ද රළු
වේගයෙන් හඹ-හඹා ගියෙදැයි
පමණටත් වැඩියෙන් සිතෙයි මට...
කැලෑ කටු පඳුරින් පොහොදු වුණු
පිපුණු කැකුලේ අගය නොදැන ද
ගැමිකමේ සෙනෙහස නසා-නුඹෙ
හුරුබුහුටියත් සුනු-විසුණුකොට!

නොබසිනා හිරුගේ ඉමෙහි සිට
අරුමෝසමට දෙනෙත් නතු කර
බලා සිටියෙ ද තව ඉරක්-පායනු
දකින්නට දිවි අඹරෙ තෙර!!
කාලයේ වැලි තලාවේ යට
උස්-පහත් වූ සියුම් සිතිවිලි
එබෙයි තවමත් වරින්-වර-මායිමේ
හිඳ වැට කඩුලු බිඳ ගෙන...
හමු වුණේ හැටියට ද ඉරණමෙ
ආ-ගියේ ලොව් “අටේ දහමට”
දෙළොස් කොටුවෙ ම ලියැවි තිබුණෙ ද
බොඳ ව ගිය අපැහැදිලි ව අකුරින්...
කරමි නිවැරැදි මේ සැහැල්ලෙන්
සිදු ‌වෙලා ඇති ඒ විපැත්තිය
ඉතා පැහැදිලි රවුම් අකුරින්
සනස ගනු පිණිස ම මගේ සිත...
තී වෙති ද ඒ මාර වෙසඟන
අපේ හදවත් තුළට රිංගූ
මේ ඇය ද නොව නුඹේ හද ගිනි
දුන්න යුවතිය මහද ගත්තූ!!!
View Poem