වාසනා පයාගල

2023 ඔක්තෝබර් කලාපය

තැවුල් ගෙනෙන සඳ

පුර වීදි එකලු වී සදෙව් ලොව මැවීලා
පුර දනන් තුටු රැවින් සවන්පත් පිරීලා
පුර'ඟනන් රුසිරු ගත නුවන් යුග පැටලිලා
පුරාහඳ පුර අහසෙ ඇත අතරමං වෙලා

එදා සේකර දුටුව නිව්යෝර්ක් සඳ නොවේ
අමරසේකර දුටුව සඳේ මායම් නොවේ
මෙදා ඇඩිලේඩ් සඳ මවන රස එය නොවේ
මව්බිමේ ඈත ගම්දොරක සෝ තැවුල වේ

පෝදාට සුදු වතින් , සුදු සිතින් පුදන්නට
සඳ එළියෙ සෙවණැල්ල යටින් පා නඟන්නට
බෝ මළුවෙ රූ රටා කවි හැඟුම් මවන්නට
පිරූ සිත කෝ කවුද සොරාගෙන ගියෙ දුරට?

ඉපල් තුරු දෑත් පිළිසරණ අහසින් යදියි
හිරුත් හොරැහින් බලා නොදුටු ගමනක යෙදෙයි
වැව් පතුල ඉරිතලා හද සුසුම් පොද හෙළයි
දිරි සිඳී රන් ගොයම ගිලන් වී වැතිර යයි

ගුරු අණින් ලියන්නට රචනයක් ඇත පොතේ
' කෙතක අසිරිය ' එයයි වදන් වැල් පැටළෙතේ
දෙවේලක් නොපිරු කුස සටනකය හාමතේ
මව මැවූ සුබ සිහින බොඳව යයි දරු සිතේ

දිය නිලන වැව් තලේ ඕලුමල් පිපෙන්නට
වන රොදෙන් වන රොදට තුටු රාව නඟන්නට
ගොවි බිමේ මිලින වූ පැතුම් පණ පොවන්නට
ඔය බැල්ම ලන දිනේ සක් රජුනි කියන් මට.
View Poem