දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2021 නොවැම්බර් කලාපය

තනිකළ මව්පියෝ ?

මහන්සියි මට තේ ඇබින්දක් හදා දෙන්නකො හාමිනේ
ඉද්දි පෙන්ෂන් ගන්න පෝළිමෙ පෙරේරත් අද හමුවුණේ
ඔයා හරි ඒ වුණත් වෛරය හිත දරන් ඵල නැහැ වුණේ
දෙවෙනි දරුවගෙ වැරදි හින්දයි ඒ මනුස්සයො නැතිවුණේ

ලොකු පුතා මැරුණලු මාර්තුවෙ කිව්වෙ නැහැ ඇයි කාරණේ
මල්ලිගේ වැඩ හින්ද තරහෙන් ගිහින් හිටියෙලු කල්මුණේ
හිටිය දරුවත් දුකට පිහිටට නැතිලු දකිනට හැකිවුණේ
කොහොම ඉවසා ඉන්න ඇතිදෝ ඒ දෙමව්පියො දෙවියනේ

දෙවෙනියා ගැන කියන්නට විත් මිනිහ ටිකකට නැවතුනේ
ඒ කාලෙදිම රටින් පැන්නලු නැතිලු නැවතත් පැමිණුනේ
මුණුපුරන් ඉන්නවද ඇහුවම ඉබේ සුසුමක් පිටවුනේ
අපි වගේමයි ඒ අයත් පව් මහළු වයසෙදි තනිවුණේ

එකට සෙල්ලම් කරපු කොලු රැල ඇයිද දෙපිලට වෙන්වුණේ
එකම කාසියෙ දෙපැත්තක ඒ තරුණ ජීවිත බොඳවුණේ
දෑස් බැඳගෙන රැයේ ආවත් හඳුනන්න නැහැ බැරිවුණේ
ඒක තේරුණ නිසා වෙන්නැති පුතත් අරගෙන ඉගිලුනේ

හොඳ හෙටක් පතමින් රටට තම දිවිද පුදමින් බිළිවුණේ
උන් නසන්නට තරුණයින්මයි අවි අතට ගෙන සුරැකුනේ
රැකෙන්නට සිතු අයව රකිනට ඔවුන්ගේ හෙට නැතිවුණේ
සදා රැකුනේ නැහැ කිසිවෙකුත් කිසිවකුත් නැහැ හිමිවුණේ

සරසවියෙ ඉගෙනීම දරුවන් උන්ට ලොකු වරදක් වුණේ
තරුණයින් විතරක් නෙවෙයි අප රටේ බුද්ධිය මියැදුනේ
පුතා නැතිවුණ දුක නිවන්නට හෙළු කඳුළු නැහැ ඇතිවුනේ
ප්‍රෙෂර් පෙත්තට වෙලාවත් හරි මෙන්න තේ ටික හාමිනේ
View Poem