දිල්රුක්ෂි ගුණතිලක

2023 ජනවාරි කලාපය

තටු නැතිවට මේ නිලඹර අපට හැකිය පියාඹන්න!

කරදර කරදර හිසමත නැත නිවනක් ලඟ පෙනෙන්න
ජරමර මැද බර කරත්ත අඩුවක් නම් නැහැ දකින්න
සුරපුර ලෙස දුටු ලෝකය යම පුරයක් වෙලා මෙන්න
උරෙනුර එල්ලී නැගිටිමු එපා දුකින් කල් ගෙවන්න

දස දුක් නව නින්දාවන් මිනිසුන්ටම බව හිතන්න
වස කුප්පිය ඉවත දමා හිත සනසන බෙහෙත් ගන්න
හිස මත වැවෙනා අකුලට වතුර පොහොර නොදා ඉන්න
ඉස ඉස පැන් පිරිත් නිතර වස් කවියට තිත තියන්න

වයසට හම රැළි වැටුනට එපා එයින් සසල වන්න
සබයට බට නලුවන් ලෙස තුරුණු චරිත රඟපාන්න
කැලලට කලු පැල්ලමකට එපා ඔය තරම් තැවෙන්න
කරුමෙට ඉඩදී පැරදී දුක් කවි ලියමින් හඬන්න

ආවොත් කලු වළාකුලක් හෙට ඉර එන බව සිතන්න
නාවොත් සුබ ආරංචිය ඒ හොඳකටයැයි කියන්න
වැටුනොත් එක පාරක් ඔබ නැගිටින්නට දිරිය ගන්න
ඇතොත් සතුට ලෝබ නැතිව අනිත් අයට බෙදා දෙන්න

කටු අකුලෙත් මල් පිපුනා මතක ඇතිව හැඩ බලන්න
අටු කොටු පුරවා ගන්නට වෙහෙස වෙලා වැඩ කරන්න
ඉටු කොට නිසි ලෙස යුතුකම් ජීවිතයද රස විඳින්න
තටු නැතිවට මේ නිලඹර අපට හැකිය පියාඹන්න!
View Poem