දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

2025 ජුනි කලාපය

කෝපි මල් සුවඳක්

අමතකම වෙළාවක මටත් නුඹ ගැන මතක
හමුවුණා පේළියක් කියවමින් සිටි පොතක
"භෞතිකව නොගැටෙනා වස්තුවක්මය අතක
ආදරය කියන්නෙම රැඳුණු සුවඳකි හිතක"

තියා පොත පපුව මත පියා නෙතු බිදුවකට
මතකයෙන් ඇවිද්දෙමි නුඹ දුටුව මුල් දිනට
දෙවට දිග නුඹේ පසු ඇවිද ගිය කාලයට
කෝපි මල් සුවඳ මැද හැරී බැලු තාලයට

දශක තුන හතරකට එහා දුර කාලය
වෙනස් විය හැකි නොවෙද ඉතිං මේ තාලය
නමුඳු ඇත්තමයි නොවෙනස්‍ ය හද ආලය
ඉද්දගැසු සේ නැඟිට පසුකලෙමි සාලය

පිලිමයක් ලෙසින් තැබු මිඳුලෙ ලොවි බංකුවේ
තනිව නුඹ බොහෝ කල් දැනුයි මං දුටුවේ
තවම එහි බොහොයි ඉඩ හෙමින් පා තැබුවේ
කාලෙකිනි කෝපි මල් සුවඳ යළි හැමුවේ
View Poem