රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

2021 නොවැම්බර් කලාපය

කොළඹ යුගයේ සිත්ගත් කවි ස්විට්සර්ලන්තයේ ලූසන් ගඟබඩ දී

විඳගත් මිහිරි රස මවු බිමට ද ගෙනෙමී
අදහස් ලෙස සුවිස් රට ඇවිදින් සිටිමී
ලද සුළු විවේකෙට මෙරටෙහි ගත කරමී
හදවත දිනාගත් එකියක් ගැන කියමී

පුලුන් වගේ හිම කැටිවල සිහිල දිනා
රසින් මිහිරි ගී හඬ සහ කුරුළු හිනා
ලූසන් නදිය ජීවය මෙම රටට ගෙනා
නිතින් ගලා යයි මත්කර සියලු දෙනා

කොහෙන් පටන් ගෙන කොයි තැනටද යන්නේ
කියන්නට මෙහේ ඇයි කවුරුද දන්නේ
ලූසන් නදිය මා දැකලද හිනැ හෙන්නේ
ඔබෙන් තමා මේ රට ලස්සන වන්නේ

පින වූ දෙනෙත දුටු හැටියෙම අගය කියා
සැනසෙමි සොඳුර ඔබෙ සිහිලස පපුවෙ තියා
මනමාලියක් සිය හිමි වෙත ඇදෙන නියා
යන ඔය ගමන කොයිබද සුන්දරියෙ ඔයා

වයිවාරන්න ලෙස තැන තැන දකිනු ලැබේ
ඇයි මේ තරම් දැඟලිලි යන ගමන ඉබේ
කොයි අත ගියත් හමුවන එක සිරිත ඔබේ
දයි වය එය ද ඉන් මුළු රට එළිය තිබේ

ලැබගෙන සෙනේහය හැම කෙනෙකුගෙම බැලූ
සුබ ගමනකට වරකදි අර අඳින සුලූ
ඔබ රුව මිහිර වැඩි කරවන වතුර දලූ
සිඹ ගන්නට තරම් හිත මත් කරන වලූ

රුවින් පරදවන පැරිසියෙ ටිකිරි ලියන්
මගෙන් සොඳුර හිරිහැරයක් විනිද කියන්
ඉතින් මුකුළු ඇයි මා හුරතලට තියන්
ලූසන් නදිය මට නුඹේ ආදරය දියන්

මහ මිනිසුනට මෙන් මගෙ රූබර නදිය
බහ තෝරන වියේ දරුවන්ට ද ලැදිය
අහ ගෙන ඉන්ට සොඳුරියෙ කටහඬ විදිය
දහ සක් වැඩ නිසා මට කාලය මදිය

නෙතින් දුටුව දින සිට සෙනෙහස බන්දා
හිතින් ඉවත් නොමවන ලෙස රස වින්දා
ඉතින් සොඳුර අද තනිකර යන හින්දා
ලූසන් ඔයා මා හා තරහද මන්දා

මීමන ඇලේ හෝ බොරලැස්ගමුවෙ වැවේ
තී මුණ ගැහෙන බව පවසමි නැවත බවේ
මේ යන ගමන ඔබ හැර හිත ඇතිව නොවේ
මා ගැන වරද නොසිතනු එය වරද ලොවේ
View Poem