ලක්විජය සාගර පලන්සූරිය

2021 අප්‍රේල් කලාපය

කොළඹ යුගයේ සිත්ගත් කවි

උපුටා ගැණීම - සුදෝ සුදු කාව්‍යය - කවි 103 - 109

නෙත් අඳ පුතා දවසක් මව වෙත පැමිණ
සිප ගණිමින් නොපෙණෙතත් මවගේ මුහුණ
"අම්මේ මේ ළමයි හොඳ නැහැ බොරු කියන"
කිව්වම ඈ විතාලා "මොකදැයි කරුණ"

"මල් ලස්සනයි හොඳ හොඳ පාටයි" කීවා
"පෙණෙනවා" "දකිනවා" කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා

මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
ඒවා මොලොක් බව තේරෙනවා මටද
"එළියක් කියා" මොකවත් හෙම තියෙනවද
මට තේරුම් ගන්න අම්මේ බැරි මොකද

උණුසුම දැනේ දහවල් මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මම කණකොලුවෙක්ලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි අඬා

ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙලෙක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
"පාට" කියා ඇත්නම් ගතියක් මලක
අම්මේ අත නොගෑවෙන එක තමයි දුක

"ලස්සන" කියන දේ නැහැයට වත් කණට
මගේ දිවට හරි මගෙ අත පය වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය මට

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු හෙලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඩන් අම්මේ නාඩන් මම විහිළු කළා
එන්ටද ගොසින් බොරු කී කොල්ලන්ට තලා
View Poem