ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

2024 අප්‍රේල් කලාපය

කොවුල් හඬ මැද

අළුත් අවුරුදු එනව දුර ඈත අපෙ ගමට

මළුත් පිපෙනවා ඇති වහල ලඟ රතු පාට

කජුත් ඉදිලා බරව වවුල් පොර කන රෑට

මං ගියොත් බය වෙලා අඬයි රෑ එක දිගට



ගිය සැරේ අවුරුද්දෙ ලිපේ ගිණි මෙලෙව්වට

කිරි බතට ලුණු මදිව රස තිබුනෙ නෑ හොඳට

ගල් ලිපේ මී පැටව් කොඳුරාවි මහ රෑට

මං ගියොත් ඇහැරිලා අඬයි රෑ එක දිගට



සති අන්තෙ ගෙදර ගොස් ඉරිතැලී ආ විටක

කුස්සියෙන් නැගී එයි දෝංකාරය කණට

තිගැස්සී නොගැස්සී මං මෙහේ හිටියාට

ගියොත් අවුරුදු කන්න අඬයි මං මහ රෑට



මතක කඳු පෙරලිලා මං එයින් යටවේවි

නිදි නැතිව රෑ තිස්සෙ කඳුළු ගලමින් යාවි

වවුල් රෑනම ඇවිත් නපුරු හඬ නංවාවි

තනිවෙලා මං ඇඳේ කඳුළු දිගටම බෝවි



ඇට සැකිලි කූඩුවට හොඳට පන තිබුනාට

වාට්ටුවෙ එන හඬින් සිතට බිය නොගත්තට

පුතාගේ නම කියල හැඬු හැටි එයි හිතට

මං ගියොත් දුක් වෙමින් අඬයි රෑ එක දිගට
View Poem