ලාල් හෑගොඩ  

2022 සැප්තැම්බර් කලාපය

කුසුමී

ගමේ ගැටව් කීවේ
ඒකිගෙ මුහුණ
හඳ වාගෙයි මචං

ගමේ මහලු තාත්තා කෙනෙක්
ඉදලද අතින් අල්ලාගෙන
වැට ළඟ රැඳී සිටියි
සමීප රූපයක් ගන්නට වාගේය
"ආ චන්ද්‍රාවතී"
සිනාවකින් ද අමතයි

නෑ සීයේ ඒ කුසුමක්කා
ටීක් බෝල ගසමින් සිටි
පොඩ්ඩෝ කෑ ගසති

කව්රුන්ද රාහු
සඳ සොරකම් කළේ
මගේ පැනයකි
ඉරිසියාවද කෝපයද මුසු වූ

මම හිටියේ මේ පැත්තේ
දෙරණට එහායින් පියසිරි
කුසුමාගේ මුහුණම බලාගෙන
පහත් වී පිස දමයි යම් කුණක්
මල් පොකුරේ මැස්සෙක්
අම්මා ගේ
පෙඟුණු ඇසිපිය කෝපය ද රවිල්ල ද මැද
කුමන ස්පර්ශයක්ද
අත් මේස් දැමූ සුදු

සඳක් නොවී
කුසුමක් උනානම් කුසුමා
මලක්මය කිනිහිරියා

පැහැයද මතුපිට සියුමද
වැසී ඇත මිණී සාප්පුවේ පවුඩර් වලින්
වැසී ඇත අතීත සිපගැනීම්
සිතත් විනිවිද යාමට
කිසිත් වෑයමක් නොගනී

නෙත කුසුමාගෙන්
ඉවතට ගත්විට
පියසිරියා මා දෙස බලාගෙනය
ගිනි පෙනෙල්ලක් මුහුණේ වැදුනා වාගේය
View Poem