දිනුෂි සෞම්‍යා සිල්වා

2024 අගෝස්තු කලාපය

කුවන්ණා මම...

නුඹේ රජ රන් ඔටුනු සිහිනෙන්
දුටිමි මං එක දවසක්..
යක්ක රුහිරෙන් සිඳුණු නෑ ලේ
මොරගසාවී හීනෙත්..
ශාපලත් කන්‍යාව කී මුත්..
නුඹේ පතිනී වී මං
අපේ රැහැ තෙත් කළා කඩුවෙන්
නුඹට ආලේ ලෝබෙන්..

කුමරුනී නුඹ තබා සිහසුන
රැජිණ වන්නට හිතුවත්
මදුරා පුරයෙන් ගෙනාවා නුඹ
අග මෙහෙසි නුඹ හට දැන්
ලාටරට තොටුපළින් ආ හෙණ
තුරුළු කරගත් මෝහෙන්
නුඹේ ලෙයටම වැදූ දරුදැන්
ඉකිපොවාවී සෝකෙන්

කුවන්ණාවෝ අදත් ඉපදෙත්..
මිනී මස් නම් නොම කත්..
නිරිඳු ප්‍රේමෙට හති වැටිත් දැන්
මංමුළා වී පරවන්
පෙවූ ධාරක ස්නේහෙ ගින්නෙන්
කදුළු මහ වැහි උහුලන්
ඔහෙ ඔහේ හිස් හැරුණු මං ළඟ
පතා සිටිතියි සිඟමන්

විජයලා සිටි ඉන්න මේ ලොව
නඩුව අහපන් දෙවිඳුන්
වීදි සරනා කුවණ්නාවෝ
ඇතේ තව කොත ඉමකුත්
පිරිමි පපුවට කෝළ පදයට
වහවැටෙන නුඹ වෙනුවෙන්
මොර ගසා මේ කතා පවසමි
නැගිට නිදනා සොහොනෙන්


Painting credit; Asanka Anujeewa -
View Poem