තුෂාරි ජයසිංහ මහනුවර

2022 මාර්තු කලාපය

කහට කෝප්පයේ දුම් වළළු.

අළුපාට හැන්දෑවක
කකුලක් හෙලවෙන
මේසයට ඉහලින්
හිනැහුණා සුන්දරියක්
කහ ගැහුණු
කැලැන්ඩරයේ
එල්ලිලා මලකාපු
ඇණයක තදින්

ඉතින් නම් කුමට
ඉඟි බිඟි කරනුද
සයනයේ ඇති එකම එක
කොට්ටය හිනැහුනා
උපහාසයෙන්. ....
වල ගොඩැලි මත
ඇඳුණු කුප්පි ලාම්පු
සිතුවමකට

තරුවකුත් කඩන් වැටුනා
වැහි පොදකුත්
එක්කම සිරිස් ගා
රීප්ප අතරින්
ලොකුම ලොකු
හිඩසකට මැදිවී
අහස පෙනෙනා වහලයේ

මොනව උනත් මොකද
මම තාම මෙතන
නුඹ කොහේ ඇද්ද
දුවන්නට හිතකුත්නෑ
ඒකේ අයිතියත්
සින්නක්කරේටම
ඔතන

සුළඟ නම් හීතයි
ඒත් හිත රස්නෙයි
කහට කෝප්පයේ
දුම් වළළු නගිනවා
ඉහලට ඉස්සර වගේම
වෙනසක් නැතුව
සුන්දරිය බලන් ඉන්නවා
තාමත් එදා වගෙම
හිනැහීගෙන

නිමුනත් කුප්පි ලාම්පුව.
View Poem