මංගලා රත්නායක වැලිමඩ

2025 මාර්තු කලාපය

කසාදය තීන්දුයි....

පොඩි සන්දියේ සෙල්ලම් බත් උයපු වැලී
දෑතට ඉරටු ගෙන ඇන්දනෙ කුරුටු බලී
දැවටී නිතර කියමින් මට සමන්මලී
පහකිය වසර අපි හිටියේ පෙමින් වෙලී

පෑවට විරෝධය මව්පියො තරහ වෙලා
රහසේ ඇවිත් ඉඳිකඩ ළඟ මුකුළු කලා
පස්සෙන් ඇවිත් අම්මා මෙය සිටියෙ බලා
දිව්වා ඔබත් බිය වී පසුපස නොබලා

ගහලම පහර දෙක තුනකුත් හදිස්සියේ
ඕව උඹට ගැලපෙනවද ගැටිස්සියේ
දින ගණනක්ම දැමුවා ගෙයි අඩස්සියේ
කඳුළු සලා විය දෙනුවන් තඩිස්සියේ

දුන්නට කෑම නැත කෑවේ පෙනෙන්නට
ගින්දර සුදහ බෑ ඉවසා සිටින්නට
රෑ මැදියමේ මුළුතැන් ගෙට පනින්නට
හිතුනත් බැරිය කාමරේ දොර අරින්නට

තව දුර බැරිය ඉවසා ඉන්නට මෙව්වා
ගෙදර හිටිය මගෙ පොඩි මල්ලියා ලව්වා
තරිදුට එන්න කියමින් පණිවුඩ යැව්වා
මව්පියො සමග ඇවිදින් යන්නට කිව්වා

අපෙ මව්පියන් එක තැනකට එකතු වෙලා
මහ මඟ එපා හමුවෙනු අවවාද කලා
සිටියදි දෙදෙන ලැජ්ජාවට ඉවත බලා
කසාදයට සුබදිනයක් නියම කලා
View Poem