කපිල ෆොන්සේකා කොළඹ

2022 අගෝස්තු කලාපය

කවදා හෝ

මේ ලොව මත
යම් දවසක
හැබෑවටම
නුඹ විතරක්
තට්ට තනියමේ ඉඳීවි

හැබෑවටම නුඹ විතරක්

හරියට
වැලි පිරි කතරක් හරි මැද
නූල් පොටක් ඇඟ නැති වී
නිරුවත් වූ සේ දැනේවි
නුඹ විතරක්

නැතිනම්
වග වලසුන් මිග ලේනුන්
කිසිවෙක් නැති
ගහකොළ මියැදුනු වනයක
මග වැරදී
තනි වූවා සේ දැනේවි
නුඹ විතරක්

ආං එවිට
කවුළු පියන් පත මත ඉඳ
සියොතෙකු එබිකම් කරාවි
ඇඳ මත වැතිරී ඇති මේ
අර්ධ කාය දෙස බලාවි
උගෙත් ඔබෙන් නෙතු ගැටේවි
දිගු මොහොතක්
ඇසිපිය නොහෙලා ඉඳීවි

යළි බලද්දි
කවුළු පියන් පත පමණක්
තවමත් සැලෙමින් තියේවි ...

©කපිල 2022 ජූලි 12
View Poem