නිලූකා පතිරණ ඇඹිලිපිටිය

2024 මැයි කලාපය

කඩතිර හරිනු මැන

නොමිනිස්කමින් පිරි සිත් නම් නිරන්තරේ
මිනිසත්කම ඇදෙයි දින දින වනන්තරේ
බුදු බණ පද ඇසෙයි දසතින් සවන්පිරේ
ඉවසනු නොහැක මගෙ රට දැන් පවින්පිරේ

දෙවියන් බුදුන් වැඩ හිඳිනා උසස් හෙලේ
සැඟවී මාර වෙස් ලත් රුදු අපිස් බලේ
බුදු පුතුනගේ රුධිරය ගත් රකුස් කුලේ
දෙව්දත්ලා ද හොඳ ගති ගුණ වෙනස් කලේ

දුටුවම පුවත්පත්වල තතු හද සෙලවේ
මිනිසා දරුණු වී ඇති බව එහි පලවේ
බුදුදම නොගත් අගතිය මෙය හට මුලවේ
අප්පා දරුවො උස්සලා ගහනවා පොළවේ

තුරු මුදුනෙහි තැනින් තැන යන වඳුරු රැළ
නැහැ කිසි දබර උන් එක සේ බුදිති පළ
බියකරු හඬක් ඇසුනොත් ඒ වනය තුළ
කාගෙද දරුවො ගෙන යති උන් දුවන කළ

එක මඟ ඇවිද ආ මතකය රස බරවූ
රස මසවුළු දිදී සැමගෙම කුස පිරවූ
සිව්වන සිල් පදය බිඳිමින් ගත පිනවූ
සැමියගෙ ගෙල සිඳී පස් පවකට සිරවූ

රඳවා දස මසක් සෙනෙහෙන් බිහි කෙරුවේ
ආ අඟහිගය මැද්දේ දුක සැප බැලුවේ
තව දුක් විඳින්නට දෙනු බැහැ යැයි සිතුවේ
මව්වරු දරු පැටව් ගං තුරුළට හෙළුවේ

පොඩි මල් කැකුළු පිබිදෙන විට බොළඳ වියේ
ව්‍යසනවලට ඇයි මෙතරම් ගොදුරු වුයේ
දෙවියොත් සොබාදම් නීතිය එකඟ නොයේ
මේකද සදාචාරය අප දිනුව දැයේ

සොබදම් ළඳගෙ වියරුය මෙම හැසිරීම
මහ වැසි වසියි කඳු ගැලවෙයි ඉඳුරාම
ලොකු පොඩි භේද නැත ඇති වෙයි මියයාම
සිදු වෙයි කොසොල් සිහිනය දැයි විමසීම



ඇඹිලිපිටිය ..
View Poem