පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2021 ජුලි කලාපය

කංසා

ඉදි කඩුල්ලට අතක් තියලා විලෝ තුර මංපෙතට එබෙමී
ගෙවත්තේ වතුසුද්ද ගහ ළඟ යටිපතුල් දෙක නතර කරමී
ඇසළ පුර පෝ හතක් ගෙවුනා හඳ අමාවක ඇයිද සිතමී
තිමිර පට දෙස බලා ඉඳ හිට කංසා උගුරක් හෙමින් උරමී

තවත් පොළොවක් එළිය කෙරුමට සඳ එදා සමුගත්ත බැවිනී
වෙනත් අහසක යහන් තලයට සදාකල් පිටුවහල් කෙරුණී
දෙඇස් පියවුණු විගස වගතුග සොයන්නට මුළු හිතම යෙදුනී
මතක දැලි පිරිපහදු කරමින් හද සේම රූ සපුව මැරුණී

වැහි පබළු මුතු මාල අමුණා ලොකු දූගේ ගෙල රටා තිබ්බා
නැකත් නොතබා ඇගේ දෙපතුළ යොවුන් වැලිකැට හෙමින් ඉම්බා
හීන සැඩ සුළි සුළං වීලා හදවතට මහ සැරෙන් පිම්බා
ඉතින් තරිඳුනි අදත් මලකට අතක් තැබුවා නුඹේ බිම්බා
View Poem