විමුත් ද සිල්වා

2025 අප්‍රේල් කලාපය

ඔලොගුව

රිදුම් දෙන උරහිස
සන් කළේය මොහොතකට
බිම තබන්නට
ඔලොගුව

ගල්ගැසී ඇති සැටියකි
ලොව ම
නිමේශයකට

මෙතෙක් නොතිබූ ඟංගා
මතුව පෙනෙන්නට විය
පස් පියුමින් සුසැදි විල්ය
පෙරමෙන් සැඩ නැතිය හිරු

ඇසෙන්නට විය කුහුඹුවන් දෙදෙනෙකු
එකිනෙකා මුමුණන හඬ
මා දෙපා අසල ම

පහලට නැමුණු අත්තකින්
පැහැදිලිව කන වැකෙයි
මග හරස්කල කපුටෙකුට

ලේනෙකු බැන වදින යුරු

ඈතින් දුටිමි නොදන්නා කුරවියෙකු
යමක් හංගා එන යුරු
බෙනයක

පෙර නොවූ මිහිරක් ගෙනේ
තොරතෝංචියක් නැති
ගෙම්බන්ගේ බක බකය

තුරු ලතාවෝ
මලින්, ඵලින් බරය
සඳැස් පුර වැනුම් පරාදය

දැනුණි බොහෝ කලකට පසු
හුස්ම ගන්නා වග
ඇසුනි හදවත ගැහෙන හඬ

එනමුත් බොහෝ ප්‍රමාදය ගමන

මා එතැනමය
උරහිසෙහි රිදුම ද අඩුය
කරතබා යමි නැවත ,
තවත් පිරවිය යුතු බැවින්

ඔලොගුව
View Poem