පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2022 දෙසැම්බර් කලාපය

ඔයා හිතුවට එහෙම, ඉවර නෑ මේක

ස්කොට්ලන්ත තැනිතලා බිමෙක
තිබූ එක්තරා ශීත කඳවුරක
පහන් එළි ඇති අඳුරු පෙදෙසක
හිනැහුනා මතකයේ හිඳි
කාල වර්ණිත ඇගේ ඇස් දෙක

ආගමන විගමන
දේශ සීමා කඩුලු පැනගෙන
යාල්දේවියෙ නැගලද
නුඹ ආවෙ මේ දෙසට?

රිදුණු රත් වන් තිලකය
කැඩුණු සිංහල කවි කොළ
තල් අරණෙ සඟවලද
පියැඹුවේ නුඹ මෙහෙට..
නොමැති නම් ....
ගේ බිත්ති පෙරනයෙන්
විසිකරලවත් දැමුවද ...දැවී යන්නම..
තිබෙනවද ඒ අළු පරෙස්සම්ව
තවම පොංගල් බඳුනක?

අහම්බෙන් හමු උනත්
එදා වගේම අදත් හිත කියෙව්වද නුඹ මගේ
ආනන්දි , එහෙ ගිනි අවසන්
බදාගෙන වැළපෙමුද දැන් ඉතින් අපි හිතු මතේ

වෙනස් වූ හැඩයක් ය නුඹෙ මුවින් දිස් වුණේ
මට ඕනෑ මගේ පොඩි යාළුවයි ඒ දිනේ
ඇයි අඳුරු කඳවුරක .... දමිළ සිංහල අමතකද
නැගුණු එක පිට එක ප්‍රශ්න මැද

ඇගෙ අතේ ගිතෙල් ඉටි පහන
නිවී යන්නට ළඟය
අත්ල ගිනි ගන්න ඉඩ කඩද වැඩිය

සීකිරම් විත්ත්‍රක්කු පෝ..මේක කොටි කඳවුරක්
යුද්ධය අවසන්...කට කොනේ උපහාස සිනාවක්
ඔයා හිතුවට එහෙම
ඉවර නෑ මේක...
යන්න ඉක්මනට ගෙදරට
View Poem