රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2024 අගෝස්තු කලාපය

එයා යන්නට යද්දී මට ගුඩ්බායි කිව්වා!!

හිතවතෙකුගේ සාදයකදී...
එදා අපි මුණගැහුණේ
සමුනොගෙන සමු අරන්
කාලෙකට පස්සේ...

ඔයා දුටු ගමන්
මම මොහොතකට ගල් ගැහුනා.
හුස්ම නැවතුනා වගේ දැණුනා.
ඔයාගේ පෙනුමත් පොඩ්ඩක් විතර
වෙනස්වෙලා තිබුනා.
තවත් ලස්සන වෙලා...
මට එහෙම හිතුනා.

හායි... කොහොමද
සදාකාලික ඉලන්දාරියා..
යහළුවෝ ඔයාට ඉඟි මැරුවා.
පාසල් කාලයේ කෙලිබිමේ
හයේ හතරේ පාරවල් ගහද්දී
සතුටින් ඔල්වරසන් දීපු මතක
අතනින් මෙතනින් ලීක් වෙනකොට
ඒ සිදුරු ටික මම රිදි රිදී මැහුවා.

ඔයා මා අභියස
සුපුරුදු සිනා තවරගෙන
නොසැලී බලා උන්නා.
තත්පරයක් ගතවෙන්න
කල්පයක් බලා හිටියා වගේ දැනුනා.
මටත් නොදැනිම
හිතේ සමහර හිස්තැන්
පුරුදු ආදරෙන් පිරුනා.
මොහොතකින් ඒ උණුසුම් සුසුම්
වම් කම්මුලට දැනුනා.

මේ දුකටද? සතුටටද? නොදන්නා
විලම්බීත සයුරක මම ගිලුණා.

"මම එදා වගේම අදත් අසරණයි ෂුගර් ..."
ඔයා හෙමිහිට කිව්වා.
(ෂුගර්....ඉස්සර එයා එහෙමයි මට කිව්වේ ආදරේට )
මගේ හිත වටපිට බල බලා
හැංගෙන්න තැනක් හෙව්වා.
ආයෙමත් ඔයාගේ ඇස්
මගේ දෑසම හෙව්වා.
මම ඔහේ බලාගෙන
එදා තිබු දඟකාරකම් මැව්වා.

"බලන්න ෂුගර්....
අපේ ජීවිත කොච්චර වෙනස් වුනත්
අපි එදා වාගෙමයි.
ඔයාගේ ඔය හිනාව...ඒ වගේමයි."
හ්ම්....ඔයා දුටුවේ එහෙමයි.
පපුවේ තැලී ඉරී ගිය තැන් බොහොමයි.
ඒත් මට සතුටක් දැනුණා මා ගැනම
අහා....ඒක කදිමයි.

ඔයා වැළඳගත් මොහොතේ
මගෙ අතින් ඔයා අත හැරුනා.
මෙතෙක් හිතේ සැඟවිලා තිබූ ගිනි පුපුරු
ඉතින් සදහටම නිවුනා.
ආදරේ කියන්නේම හිතේ නොමැකෙන දෙයක් ..
යටි හිතත් මට අමතන අයුරු දැනුනා.

මම හෙව්වේම නොසැලෙන පෙමක්!
හිත දස දහස් වරටත් කිව්වා.
ඉතින්....ඔබ නමින් පිදු සෙනෙහසේ මල
මම ආපහු පුදසුනේම තිව්වා.

"ආයෙමත් යනව නම්
ගුඩ්බායි කියලා යන්න. ඒ ඇති..."
මම ආදරෙන් කිව්වා.

එයා යන්නට යද්දී
මට ගුඩ්බායි කිව්වා!!
View Poem