වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

2022 දෙසැම්බර් කලාපය

ඉවත ලූ මිරිවැඩියට........

කටු කොහොල් පිරි මඟක
දෙපා මා සනසමින්
බොහෝ දුර පැමිනියද
මෙයින් මතු බොහො දුරක්
යන්න සිදු වේවි මට.

සිත් බැඳී දයාවෙන්
මා මුදා විඩාවෙන්
මෙතෙක් දුර පැමිණියද
බොහො දුරක් හිමිය මට.

ඉරිසියාවේ රුදුරු
කටු මතින් මිදූවද
කෝදයේ වියරු වූ
ගල් මතින් මිදූවද
දකින්නට සිහිනයක්
දිනන්නට ලෝකයක්
තව දුරක් යා යුතුය
වෙන්ව මට ඔබ වෙතින්.

මගේ දුක් උසුලමින්
මගේ බර කරට ගෙන
මා සමඟ පැමිණියද
සමු ගැන්ම පැමිණ ඇත.

පයට සුව පහස වී
සිතට සැනසුම දිදී
ඔබ සමඟ ආ දුරත්
තවම මට සිහිනයක්.

දයාවෙන් මා රැක්ක
ඔබ මගේ උරුමයක්
එද ගෙවී වියැකි විට
වීද එය කරුමයක්
නොසිතුවත් ගුණමකුව
නොමැත එහි අරුමයක්
අතීතයෙ බැඳුනු සැම
සිතට එක සිහිනයක්.

දමා යා යුතු නිසා
අලුත් පහසක් සොයා
ඔබද බෙලහීන වී
ඉවත හල යුතු නිසා
දෙපා පණ ඇති නමුදු
සිතේ තෙත ඇති නිසා
ඉතින් සමු දෙන්න මට
මා පෙරට යන නිසා.
View Poem