ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

2024 නොවැම්බර් කලාපය

ඇය සහ සිහින ලොව

සඳ ඇවිත් නා ගසින් පෙරා දෙන කිරණ සේ

හිරු බසින සැඳෑවේ මද නළේ පහස සේ

ඇය දසන් විහිදලා හෙලන රුව දිගු නෙතේ

සිත සුමුදු කර යමින් හදට සිසිලක් දෙතේ



සිහින් හඬ නගාගෙන බසින දොළ හා සමව

පසන් විරිතට ගයන කිරිල්ලී තටු සළයි

ඉද්ද අරලිය මලින් සුවඳවත් වී හමන

සුළං පොද කුරුල්ලා ලෝලයෙන් මත් කරයි



ඇගේ වත මේ ලෙසින් උදේ සවසදි මදෙස

බලාගෙන හිඳින කල මා මනස නලියමින්

කෙදින අප ලං වේද කෙදින අප හමු වේද

කියා අසමින් මහද කිති ලමින් වියලි යයි



මෙලෙස කොපමණ කලක් ඇගේ දිගැසින් විදින

ඇගේ නළලින් පෙරෙන ආලෝක කිරණ වැල

මනෙත් ලොල් කරනුයෙ ද මහද තුළ සරනුයෙ ද

රැයෙක සපැමිණ මවෙත තුරුළු වී පවසන්න



ඇය දසන් විහිදමින් හෙලන ඒ දිගු බැලම

නොහැක මට ඉවසන්න ඉගිල යමි ඇගෙ ලොවට

දිගු කලකි අප හමුව එය සොඳුරු ගීතයකි

නොනවතා වයමි මම ගයන් දිගටම ගීය



ඇසෙන විට තුරු වදුළු - තුලින් මතුවන ගීත

වන පෙතක මැදින් දොළ ගලන නිසසල තාල

දකින සඳ කිරිල්ලී හොටට හොට තබාලා

පියාපත් සළ සළා කරන මුකුළුවෙ සිරිය



හිමිදිරිය නිසල ලොව ගෙන දුන්න එ'අසිරිය

ඇසෙන විට ඈත සිට නැගෙන ඒ මිහිරි නද

සියුම් සතුටක එතෙන වේදනා තරංග ද

ඇය සමග පාව විත් සළනු ඇයි මගේ හද
View Poem