පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2021 අප්‍රේල් කලාපය

ඇය නැති දිනේ අවුරුදු මට ඇතුවා ද?

අවුරුදු කුමරු ඇවිදින් ගෙයි මැද සාලේ
කුමරිය සොයයි හිත යට වෙලෙමින් ආලේ
යන්තම් මතක් වුණි බහ තෝරන කාලේ
අවුරුදු නැකැත් අපි හැම සමරපු තාලේ

මල් මල් ගවුම අම්මා මහලා දුන්න
ඇඟලා අසල් වැසි නිවහන් වෙත යන්න
බරටම කැවිලි දී සුබ පැතුමන් දෙන්න
පුරුදුව හිටිය හැටි ඇත මතකෙට වන්න

අහළ පහළ ළමයින් අපි එකතු වෙලා
කඩ පිල් දමා අවුරුදු සෙල්ලම්ද කළා
ඉඳගෙන වටේටම පං කොල පැදුරු එළා
මදටිය දැම්මෙ පොල් කටුවේ පිටට හලා

හවසට සුදු වතින් තෙල් මල් අතින් ගෙන
පන්සල දෙසට ගොස් වැඳගෙන පුදා ගෙන
කළුවර වැටුණ පසු දල්වන නිලා ගෙන
අවුරුදු ඉවර වුණෙ සතුටද ගලාගෙන

කොවුලා අදත් කරනා සුමිහිරි නාද
ඉස්සර තරම් දැන් මිහිරිව නැති වාද
මල් මල් ගවුම මැසු අත අද කොහෙ වාද
ඇය නැති දිනේ අවුරුදු මට ඇතුවා ද.....?
View Poem