හේමා ඩෙප් - ලන්ඩනය

2021 දෙසැම්බර් කලාපය

ආදරණීය නයගරා

නාමය නුඹේ ලොව පතලව ඇති හන්දා
දැක ගන්නට ගියෙමි ඔබෙ රුව නෙත බන්දා
කිරි පෙණ නගා හිනැහෙන කොමළිය හන්දා
මගෙ ඇස වෙනතකට ගියෙ නැත ඔබ හන්දා .

කිසිවෙකු නොමැත නුඹ ගැන ඇති තතු දන්නේ
එක එක තැනදි බඳ නළවා ගෙන යන්නේ
ගන'ඳුර මකා සඳ වෙස් අරගෙන යන්නේ
බැස යන හිරුට සරදමකට සැරසෙන්නේ.

මන්මත් කරන නදි මාගේ සුරංගනා
පෙම් මල් නෙළන හැටි නුඹ මට සළුව වනා
වයසට යන්නෙ නැත නුඹෙ ඔය කැකුළු සිනා
ලස්සන කෙල්ල නුඹ විතරද ලොව සිටිනා.

මුදා වරල බඳ නලවා සැලෙන විට
සිතේ මිහිර වැඩිවී හද ගැහෙන විට
සිසිල් සුළං නදිය දෙසින් හමා එන විට
ඉන්න හිතයි සැගවීලා වලාකුළකට.

නුඹ දෙව'ඟනකි දුක දුරු කර සිසිල දෙන
රිංගා හෙල් අතර රඟමඬළක් මවන
හංගා ගලන මිණි කැට දිය යට තිබෙන
පරදයි සුරූපී කතකගෙ ලැසි ගමන.

ගොළු ගීතයක රසවත් බව වැලඳ ගෙන
එළිපිට දෙන රැගුම ලොව පිරිවරා ගෙන
විමසමි ඔබෙන් රහසින් හද පුරා ගෙන
සැගවුණු මිහිරි තාලය යයි ගලා ගෙන .

පතිනිය වෙලා කතකට වේලය වන්නේ
මුදු මද පවන් දී ඇය කැන්දන් යන්නේ
සුන්දර සිතක් ඇති පති කුලයට යන්නේ
යන්නට එපා "නයගරා"ඇය තනි වන්නේ.

හදවත් වලට දෙන අසිරිය සැනසුමට
නිමක් නැතිව එන ජන කඳ නුඹ ලගට
සෙනෙහස පුදා දැක උපහර දක්වන්ට
අතුරා දමන්නෙමි මල් පාවඩ නුඹට.
View Poem