චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව

2022 මාර්තු කලාපය

අළුත් පරපුරක්

කොහා හැඬුවා අවුරුද්ද ආවා
ගමේ පොඩි උන් තුටු වුනා
සුසර වී නුඹෙ ගී හඬින් මම
පඳුරු අස්සෙම වැතිරුනා

මඟුල් බෙර හැඬවුනේ නැතිමුත්
මධුසමය අපෙ ගත වුනා
මටත් නොදැනිම බක් මහේ හෙන
මගේ ඉහමත පිපිරුණා

ප්‍රසූතිය ලං වෙද්දි කැදැල්ලක් හෙව්ව අපි
බැරිම තැන කපුටෙකුගෙ කූඩුවක දැම්මෙ බිජු
මතකයි නෙ ගියසැරේ කපුටි නැති අවසරේ
බිත්තර රැක්ක හැටි වහං වෙල පන බයේ

කපුටටත් තේරුණා දවසක්
බිජු රකින්නේ අඹු නොවන වග
මා දිහා ඌ බැලූ බැල්මට
ඉගිලුණා නොපෙනෙක්න ඈතට

එලව එලවා පැටවුන්ට
කෙටුවා කපුටි
අනුකම්පාවක් නැතුව

තමන්ගෙම දරුවන්ට
කොටල මරනව බලා
ඉන්නට සිද්ද වුන
නිවටියක උනා මම

මීට පස්සෙ මට නම් බෑ
බිත්තර බර වෙච්චි දාට
කපුටිගෙ කූඩුවට යන්න
මමත් කැමති
හැබෑ අම්මෙක් වගේ
මගේම උණුහුමත් එක්ක
මගේම කූඩුවක් ඇතුලෙ
මගේම බිත්තර රකින්න

දෝස්මුරයක් නොවෙයි
අනේ අපි හදාගමු
කූඩුවක් අඩු තරමෙ
කපුට හදනව වගේ

නැතිනම් කිසි දවසක මං
එන්නේ නෑ නිදි වදින්ක
පඳුරු අස්සෙ
තමුසෙ එක්ක

අර බලනව පොඩි උනාට
වඩු කුරුල්ල උගෙ ඇඹනිට
තට්ටු දෙකේ ගෙයක් හදල
"මෙම නිවසට ඛුදු සරණයි"
බෝඩ් එකක් හෙම එල්ලල

ලජ්ජාවක් ඇත්තෙම නැති
වැඩකට නැති පිරිමි වෙච්චි
තමුසෙ වගෙද
පොඩි වුනාට අන්න පිරිමි
ඉගෙන ගන්නවකො තමුසෙත්
පැල් කොටයක් අටවගන්න
අඩු තරමින් කපුට වගේ

නොහැදුවොත් කූඩුවක්
බක්මහට ඉස්සරින්
අම්මා පල්ලවත්
මම යනව යනවයි
පුංචි වුනත් කම්මැලි නැති
වඩු කුරුල්ලත් එක්ක

කූඩු හදන්නත් පුළුවන්
සිංදු කියන්නත් පුළුවන්
අලුත් පරපුරක් හදනව
උන්ගේ නම
වඩු කොවුල්ලු

03.12.2022
View Poem