ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

2025 මැයි කලාපය

අම්මගෙ පහස

නොබසින හිරු නමින් පවතින අධි රාජේ
බක්මහ ගෙවන්නට ලැබුනා මට රිසිසේ
විසිතුරු කුසුම් බරවූ තුරු ලිය සෙවනේ
ගැවසෙන විටදි දැනුනා අම්මගෙ හුස්මේ

Ealing common බිම යට දුම්රිය පොලෙදී
අවසන් වරට දුටු ඇගෙ වත පෙනෙ දුකදී
අවට සිරිය පෙනුනේ කඳුලක මුසුවී
හමන සුලඟ දැනුනේ සුසුමක දැවටී

අම්මත් සමඟ කඩ මන්ඩියෙ සැරිසරමින්
Ealing Road ගිය සැටි කඩ චෝරු කමින්
සාරි දකින විට පදිකයෙ පොදි ගසමින්
වසර තිහක් ආපසු ගිය මගෙ මතකින්

කෙල්ලගෙ කන හිස්නෙ යමු අපි තෝරන්න
Southall වලින් රන් අභරනයක් ගන්න
බසයෙ නඟින විට ගමනක් අද යන්න
අම්මා ලඟම අසුනේ හැපි හැපි යන්න.

නංගිගෙ නිවසෙ යන විට ඇතිවුන සතුට
තුරන් වුනා මව් සිහියට නැගුනු විට
ලී පෙට්ටියෙ සිටි මල කඳ අවට සිට
වැලපුන විලස දැනුනේ දෙකොපුල් තෙතට.

උතුම් දහම නිතරම සවනේ රැඳුනත්
මරණය සැමට පොදුවග මැනවින් දැනුනත්
මවකගෙ සෙනේ ගත මිය පසු නොහැකි උනත්
හිත දියුනුව අඩු මට එය පුදුම සෙතක්!
View Poem