කෞශල්‍යා ජයලත්

2021 ඔක්තෝබර් කලාපය

අප සමඟ ම කඳු නඟිමින මගෙ දුවේ නුඹ ද ලොකු විණ

නින්දා වැසි අහවර කර
ඔබ කුස මත තැබු පියවර
මිනිසා සඳ මත පියවර
තැබූ අයුර පරදන'යුර

නැවතිණ මග දන විමසන
එක ම පැනය සිත රිදවන
ඇරඹිණ ගහ වැල අදරින
අත දිගු කර ඵල වැල දෙන

ලියැවින හද ඔබ නලවන
මියුරු ගීත පෙර නොඇසුණ
ඔබ හඬතියි සිත බිය ගෙන
කතන්දර සයුර නිමැවිණ

ඔබේ සිඟිති අත පතමින
බෝ කල් අතැඟිලි ගැණ ගැණ
මඟ බැලු පොත්වල සකි දන
තුටින් නට නටා හිනැහිණ

හද වෙරළස රැළි නඟමින
මුතු බෙලි කටුවක නැඟගෙන
දුවේ ඔබ ගෙනා තොස ගැන
වනන උවම් සොයමි කොයින

ගහ වැල මල් ගඟ දිය මින්
සමනලයින් පොඩි විහඟුන්
ඔබ සමග ම ගෙට ගෙවැදින
ගවුම් නැපි අතර හිනැහිණ

හිරු හිනැහිණ කුසුම් පිපිණ
රැය කළු බිඳ සඳ බැබළින
අප සමඟ ම කඳු නඟිමින
මගෙ දුවේ නුඹ ද ලොකු විණ

අපට නෙළා ගනු බැරිවුන
පහන් තරුව දෝතට ⁣⁣ගෙන
කන්ද නඟින දන සනසන
මග සලකුණු පෙන්වනු මැන
View Poem