ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

2022 සැප්තැම්බර් කලාපය

අප්පච්චී

උපතින් ලද මහා
ගොඩ මඩ යාය හැරදා
දරුවන් හදන්නට
හොඳම තැන යයි සිතා
කාසි පණමට ගත්
බිම් කඩක කොටු වෙලා
අපමණ දුක් විඳි
හැටි මතකයි මට
අප්පච්චී...!

පිට දැවුණු කබායන්
ගෙවී ගිය මිරිවැඩිය
ඔබ වින්ද දුක් දකින
කැඩපතක් උනා මට
සරසවි වරම් ලැබුමට
මග පෑදුවමුත්
ලෝගුව දාගත්
මගෙ රුව දකින්ට
මේ මිහිපිට නම්
ඔබ සිටියේ නැත
අප්පච්චී...!

ඔබ නොදුටුව ඒ
සුන්දර ලෝකයෙ
දොරටු විවර කර
දුන්නා ඔබ මට
අහිමි උනත් ඔබෙ
සෙනෙහස අද මට
ඔබ මැව් ලෝකයෙ
රැජිනකි අද මා
අප්පච්චී....!

ඔබ කල මෙහෙයට
බැති පුද දෙන්නට
මා ගොතනා පදවැල්
නොම සෑහේ
දොහොත් මුදුන් දීලා
මම බැතියෙන්
ඔබ ගුණ සමරමි
නිරන්තරේ
මගෙ අප්පච්චී......!!!
View Poem