ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2021 ජුලි කලාපය

අප්පච්චි

කර උස ගියවුන් පසුපස යනෙන තැනෙක සිටියත් මිටි
බාල එකා මං හරි පුංචී
දුව-පැන ඇවිදල උන් හා හරි-හරියට ඔට්ටු කළත්
අපෙ පවුලේ මං නැට්ටිච්චී
කෙළිලොල් වයසේ සිටියත් දඟ කෙළමින් කොලුවකු සේ
ළෙන්ගතුකම මං වෙත වෙච්චී
වෙනවුන් නැති එක ම කෙල්ල මා වූ සඳ වහළය යට
බඩපිස්සිය විය මං පැංචී

ඉපනැල්ලේ වගා බිමේ පඳුරු අස්සෙ හැංගි-හැංගි
හොරා පොලිස් කළ මං හිච්චී
එක මිටියට පොත් අරගෙන වක්කඩ පැන නියර දිගින්
පාසල් ගියෙ අව්වේ පිච්චී
පාසල නිම වී එන විට අම්මා දෙන බත් පිඟාන
එක් වර මගෙ ඔලුවට වෙච්චී
එදා දවසෙ උගත් යමක් ගණිත-මිණිත ශාස්ත්‍රයක්
මතක ඉසව්වේ නැහැ නිච්චී

අපට හොරා දවස් ගියා ඒ දවසට - දෙකට අපේ
කවුරු නැතත් අම්මා - තාත්තා සැර වෙච්චී
හරි - හරියට ගමේ ළමුන් එක්ක ඔට්ටුවට යන්නට
වෙනද වගේ ඉඩ නෑ මට දමා තහංචී
කල්-යල් ගත වෙනකොට මගෙ සහෝදරයො සමඟ වුණත්
දඟ දමන්න ඉඩ නුදුන්නෙ අපේ ආච්චී
අම්මට දොස්-දෙවොල් තියල කියා දුන්නෙ යස පාඩම්
පාසල තුළවත් නැහැ මට එහෙව් ලැබිච්චී

ටික දොවහක් ඔහොම යද්දි ඇඟ හිරි ගඩුමල් පිපෙද්දි
අපේ අම්ම මගෙ ළඟ වෙච්චී
කාරණාව කනට කරල රහසෙ කොඳුර- කොඳුර කියල
ඉවර කරල මං ගෙට වෙච්චී
කට්ට කරුවලැ’ති කාමරෙ පිරිමි පුළුටු දකින්නැ’ති ව
හිටියනෙ දඬුවම් විඳ පිච්චී
නැකැත් බලා කල-වෙලාව හරි මොහොතෙහි නහවා මා
දුන්නැයි හැඳගන්නට කච්චී

නැගී සුපුන් සඳ වාගේ මෝරන නිළ’ඹරෙහි දිලෙන
මගෙ රුව මගෙ නෙතු නොදැක ම මං රැවටෙච්චී
කල-එළි වී පාට ගැහෙන රෝස දෙකම්මුල් පැහැයත්
වැට අද්දර රෝස ගහේ මලට පළච්චී
දෙ කඳු මුදුන් වී තිරසට හිස ඔසවන තිසරුන් සේ
ළැමදෙ හංසයන් දෙ දෙනා දෙ පසට වෙච්චී
වෙනදට දුව-පැන ඇවිද්ද මගේ දෙ පා පසු බසිද්දි
උකුළ මුකුළු නොකර පුළුල් උකුළක් වෙච්චී

ගෙදර-දොරේ වැඩපල මුලුතැන්ගෙයි ඇති ඉවුම්-පිහුම්
කුඹුරෙ ද හේනෙ ද වැඩ ටික-ටික හුරු වෙච්චී
උගෙනුම ගෙනියන්නට බැරි තරමට බර වැඩි වෙනකොට
පාසල් ගමනත් යල-මහට ම ඇති වෙච්චී
දුක් කරදර විඳ - විඳ අත කර ගැටමල් පූදින තෙක්
කුඹුරු-හේන් කර බත සරි කළ අප්පච්චී
කල් යනකොට ඇඳට වැටී “හැම කරදර” බර ඉසිලූ
මහපොළොවයි අප්පච්චිත් මට නැති වෙච්චී

කුඹුරෙ වැඩත් අඳයට දී හේන කරන්නට සිත් වී
වල් කොටලා ගිනි තියලා දඬුවැට බැඳි මේ හිච්චී
බිම පෙරලා වැහි බලලා බෝග ඇටත් වට ඉහලා
පැලවෙන තුරු ඒ රැකලා මට ඇති වෙච්චී
ඇf`ග්-පතේ මහන්සියක් කිසි ම දිනෙක නොපෙන්නුවත්
අප නොදැක්ක ඒ අමාරු ඔහු විඳ ගච්චී
එහෙව් අමාරුව තියෙද්දි දොළක සිනා මුව රැඳිච්චි
අප්පච්චියෙ නුඹේ මුහුණ මට සිහි වෙච්චී

මටත් කලක් ලැබු දවසේ ගෙදරින් මං ගිය දවසේ
අපේ අම්ම තනිපංගලයෙන් කොං වෙච්චී
කර උස් ගොස් හිටිය මගේ සහඋදරයො පිට ගං ගිය
මං නැතිකොට එකා-දෙන්න ගෙට මං ගැච්චී
උන්ගෙ ගෑනු පහුවෙකොට-කොහුවෙලා ගියා ද මං ද
ගෙට ආ උන් එක දිගට ම ගෙදර රැදිච්චී
එදා වගේ නිමක් නැති ව උන්ට උයල කන්න දෙන්න
මගෙ අම්මා හොරෙන් ම මුලුතැන්ගෙට වෙච්චී

හිච්චි නගාගේ සැහැල්ල මින් නිම වෙච්චී!!
View Poem